හම්බන්තොට නගරාධිපතිගේ පිස්තෝලය 'හමු වී නෑ'

Image caption 'තර්ජනය කිරීම අත්අඩංගුවට ගතහැකි වරදක් නොවේ'

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට තර්ජනය කොට බියවැද්දීමේ චෝදනා ලබා සිටින හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ඒ අවස්ථාවේ භාවිත කළ පිස්තෝලය තවමත් හමු වී නැතැයි පොලිසිය පවසයි.

පිස්තෝලයක් ළඟ තබාගෙන සිටියේ නම් ඔහුට එරෙහිව ගත හැකි පියවර සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පතා තිබෙන බව පවසන පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ, එම උපදෙස් ප්‍රකාර කටයුතු කිරීමට පොලිසිය සූදානම් බවත් බීබීසී සංදේශයට පැවසීය.

මීට මාස ගණනාවකට පෙර හම්බන්තොට දී මන්ත්‍රීවරුන්ට තර්ජන කිරීමේ චෝදනා ලබා සිටින හම්බන්තොට නගරාධිපතිවරයා තවමත් අත්අඩංගුවට නොගත්තේ මන්දැයි විමසූ විට ඔහු කියා සිටියේ, තර්ජනය කිරීම අත්අඩංගුවට ගත හැකි වරදක් නොවන බවයි.

කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ඉරිදා පහරදුන් බවට පැමිණිල්ලක් ලැබීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර අත්අඩංගුවට ගත් බව නීතිඥ අජිත් රෝහණ පැවසූ අවස්ථාවේ පොලිසිය අත්අඩංගුවට ගනු ලබන්නේ විපක්ෂ දේශපාලකයන් පමණක්ද යන්න සංදේශයේ සරෝජ් පතිරණ ඔහුට යොමු කළ ප්‍රශ්නයක්.

'පක්ෂග්‍රාහී නෑ'

"නෑ ආණ්ඩු පක්ෂ දේශපාලකයනුත් අත්අඩංගුවට ගන්නවා," යන්න ඒ ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුරයි.

ඌව මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ මහියංගනයේදී නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයකුට පහරදුන් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන හල්දුම්මල්ල ප්‍රාදේශීය සභා සභාපතිවරයා අත්අඩංගුවට ගැනීම එයට ආසන්නතම උදාහරණ බවත් පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

බණ්ඩාරවෙල නගරාධිපති චමින්ද විජේසිරිට පොලිසිය තුලදීම පහර දුන් බවට අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සහ සරණ ගුණවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයාට එල්ල වූ චෝදනා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම පොලිස්පතිවරයා විසින් විශේෂ විමර්ෂණ ඒකකයට භාර කරන ලද බවද ඔහු පැවසීය.

"පොලිසිය තුළ වෙච්ච සිදුවීමේදී ස්වාධීන සාක්ෂිකරුවන් නැහැ. දෙපැත්තට චෝදනා එල්ල කර ගන්නවා. පොලිසියත් එතන හිටියා," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

එබැවින් විපක්ෂ දේශපාලන නායකයන් පමණක් අත්අඩංගුවට ගන්නා බවට පොලිසියට චෝදනා කිරීම සාධාරණ නොවන බවද නීතිඥ අජිත් රෝහණ පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර