ත්‍රිකුණාමල දිසාපතිට එරෙහිව උද්ඝෝෂණ

ත්‍රිකුණාමලයේ දැනට සිටින විශ්‍රාමලත් හමුදා දිසාපතිවරයා ඉවත් කර සිවිල් දිසාපතිවරයෙකු පත් කරන මෙන් ජනාධිපතිවරයාට බල කරමින් උද්ඝෝෂණයක් ත්‍රිකුණාමල නගරයෙදී පැවැත්විණි.

උතුර හා නැගෙනහිර සිංහල සංවිධානය දිස්ත්‍රික් පුරවැසි කමිටුව ඇතුළු සිවිල් සංවිධාන අටක් මෙම උද්ඝෝෂණයට සහභාගී වී සිටියහ.

ටීටීආර් ද සිල්වා නමැති විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් වරයෙක් අවුරුදු අටක කාලයක් ත්‍රිකුණාමලයේ දිසාපති ධුරය හොබවයි.

යාපනය හා මඩකලපු දිස්ත්‍රික්ක වල මෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයටත් සිවිල් දිසාපතිවරයකු සිටීම අත්‍යවශ්‍ය බව දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ සභාපති හිටපු ත්‍රිකුණාමල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක දයානන්ද ජයවීර කියා සිටියේය.

ජනාධිපතිගෙන් ඇමතුමක්

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ හමුදා දිසාපතිවරයා පොලීසියට, හමුදාවට, සිවිල් නිලධාරීන්ට, මාධ්‍යවේදීන්ට සහ සාමාන්‍ය ජනතාවට අවමන් වන පරිදි කතා කරන හමුදා මානසිකත්වයෙන් යුත් නිලධාරියකු බවට ඔහු චෝදනා කළේය.

Image caption ත්‍රීකුණාමල දිස්ත්‍රික් දිසාපති ටීටීආර් ද සිල්වා

එම චෝදනා ප්‍රතික්ෂේප කළ ටීටීආර් ද සිල්වා දිසාපතිවරයා කියා සිටියේ ජාතීන් අතර ගැටුම් ඇති කිරීමට උත්සහ දරණ රජයට එරෙහි පිරිසක් මෙවැනි ප්‍රචාර ගෙන යන බවයි.

ඇමරිකාවේ නිව් යෝර්ක් නුවර සිට දුරකතනයෙන් තමා ඇමතූ ජනාධිපති මහින්ද රාජපක්ෂ, ත්‍රිකුණාමල දිසාපතිවරයා වශයෙන් තවදුරටත් පදවියේ රැඳී සිටිය යුතු යැයි දැනුම් දුන් බවත් දිසාපති ටීටීආර් ද සිල්වා වැඩි දුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර