නෝනිස් අස්වෙලා .... නෑ අස්වෙලා නැහැ -කෙහෙළිය

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විසින් පහර දීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් ඉල්ලා අස් වූ බවට ඊයේ සඳුදා පළ කෙරුණ වාර්තා පිළිබඳ අද අඟහරුවාදා රජය කරුණු පැහැදිලි කරනු ලැබීය.

Image caption බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස්

මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් ඉල්ලා අස් වී ඇති බව පැවසූ රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඉන් මොහොතකට පසු කියා සිටියේ නිල වශයෙන් ඔහුගේ ඉල්ලා අස්වීම විදේශ කටයුතු අමාත්‍යංශයට මෙතෙක් ලැබී නොමැති බවයි.

‘ඉල්ලා අස් වුන බවයි මම දන්නේ. ඉල්ලා අස්වීමේ ලිපියක් දුන් බව වාර්තා වී තිබෙනවා. පුද්ගලික මතවාදයක් එයට හේතු වී තිබෙන්නේ’ යනුවෙන් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පළමුව ප්‍රකාශ කළේය.

එම ප්‍රකාශය කර මොහොතකට පසු විදේශ කටයුතු අමාත්‍ය ජි.එල් පීරිස් හා දුරකතනයෙන් සම්බන්ධ වූ අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට පැවසුවේ එවැනි ඉල්ලා අස්වීමක් සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරයා නිල වශයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය දැනුවත් කර නොමැති බවයි.

‘මම දැක්කෙත් විදේශ මාධ්‍යවලින්. ඒකයි මම කිව්වේ වාර්තා වෙලා තියෙනවා කියලා. දැන් විදේශ කටයුතු මැතිතුමා කියනවා ඔහු නිල වශයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් ඉදිරිපත් කර නැහැ කියලා’ යනුවෙන් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල දෙවනුව කියා සිටියේය.

වැරදි වටහා ගැනීම

Image copyright AFP Getty Images
Image caption රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

ජනාධිපතිවරයා සහභාගි වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අතර පැවති පුද්ගලික සාදයකදී මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස්ට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන පහර දුන් බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ තමන් එවැනි වාර්තාවක් දුටු නමුත් නිල වශයෙන් ඒ සම්බන්ධයෙන් කිසිවක් කිව නොහැකි බවයි.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් හා රජයේ නියෝජිත කණ්ඩායමේ පිරිසක් අතර වැරදි වටහා ගැනීමක් නිසා යම් සිද්ධියක් ඇතිවී තිබෙන බව පිළිගත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, එහිදී පහර දීමක් සිදුවූ බවට තමන්ට වාර්තා වී නොමැති බව අවධාරණය කළේය.

අදාළ සිදුවීම සිදුවූ දිනයේම මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට බාරදුන් බවටයි විශ්වාස කටයුතු රජයේ ආරංචි මාර්ගයක් ඔස්සේ බිබිසියට වාර්තා වුයේ.

විදේශ කටයුතු අමාත්‍යංශයේ ජේෂ්ඨ නිලධාරියෙකු අද අඟහරුවාදා බිබිසියට පැවසුවේ තමන්ට පහර දුන් මන්ත්‍රීවරයාට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගතහොත් පමණක් නැවතත් මහ කොමසාරිස් ධුරයේ කටයුතු කිරීමට ක්‍රිස් නෝනිස් කැමැත්ත පළ කර ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර