‘නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා’ - සෝභිත හිමි

Image copyright newsfrist.lk

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකොට ජනාධිපතිවරණයක් කැඳවනු ලැබුනොත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන බව කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ ශ්‍රී සෝභිත හිමියෝ පවසති.

උන්වහන්සේ එම ප්‍රකාශය කළේ බීබීසී සිංහල සේවය සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී.

නිර්පාක්‍ෂික අපේක්ෂකයා කවුරුන්ද යන්න තවමත් තීන්දු කර නොමැති බව ප්‍රකාශ කළ සෝභිත හිමියෝ සාකච්ඡා මාර්ගයෙන් එය තීන්දු වනු ඇති බවත් සඳහන් කළහ.

‘පවතින විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය අහෝසි කරන බවට වත්මන් ජනාධිපතිවරයා ප්‍රතිඥාවක් දී තිබෙනවා. මහින්ද චින්තනය මගින් ද ඒ බව ප්‍රකාශයට පත් කොට තිබෙනවා. එම තත්වය හමුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පියවර ගත්තොත් එය ජනාධිපතිවරයාගේ කීර්තියට හේතු වෙනවා’ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.

විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුය යන මතය දරන කණ්ඩායමක් රජය අභ්‍යන්තරයේ පවා සිටින බව සඳහන් කළ මාදුළුවාවේ සෝභිත හිමියෝ කතානායක චමල් රාජපක්ෂ ලංකා සම සමාජ පක්ෂ සම්මේලනයේ දී ඒ බව ප්‍රසිද්ධියේ ම කියා සිටි බවත් සිහිපත් කළහ.

එජාපයේත් සහයෝගය

විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් එක්සත් ජාතික පක්ෂය පවා එහි අඩුපාඩු තේරුම් ගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට මනාපය පළ කරනු ලැබ ඇති හෙයින් අවශ්‍ය තුනෙන් දෙකක පාර්ලිමේන්තු අනුමැතිය ඇති හෙයින් ආණ්ඩුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධි විධාන යටතේ පහසුවෙන් එම පියවර ගත හැකි බවයි සෝභිත හිමියන් පෙන්වා දෙන්නේ.

විපක්ෂයේ සිටියදී ජනාධිපති ක්‍රමයට එරෙහිව පා ගමන් පවා සංවිධානය කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් වූ පසු ඒ වෙනුවට සිදු කළේ දහඅට වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව යමින් දෙවතාවකට සීමා කොට තිබුණ ජනාධිපති ධූර කාලය අසීමිත තත්වයකට පත් කර ගැනීම බවත් මාදුළුවාවේ සෝභිත හිමියෝ බීබීසියට කියා සිටියහ.

දෙමළ ජාතික සන්ධානය ඇතුළු සුළු ජාතික දේශපාලන පක්ෂ කීපයක් ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සමඟ පොදු ජනාධිපති ධූර අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ සැලසුම ගැන පසුගිය දා සාකච්ඡා කරන ලද බවයි සෝභිත හිමියන් වැඩි දුරටත් සඳහන් කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර