ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පොලිස් පහර කෑමට ලක්වූ කත වන්දි ඉල්ලයි

පොලිස් නිලධාරියකු විසින් තමන්ට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සමථයකට පත් කර ගන්නා මෙන් රත්නපුර පොලිසියේ ප්‍රධානියා තමාට යෝජනා කළ බව පහර කෑමට ලක් වූ ඩබ්ලිව්.ඒ. කාන්ති ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ප්‍රකාශ කළාය.

අදාළ පහර දීමෙන් සිදු වූ මූලික අයිතිවාසිකම් කඩ වීම වෙනුවෙන් රුපියල් කෝටි පහක වන්දියක් අය කර දෙන මෙන් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ බවයි කාන්ති ලංකා මාධ්‍යයට ප්‍රකාශ කළේ.

“නිශාන්ත බණ්ඩාර සහ තවත් නිලධාරියකු පැමිණ මාව පොලිසියට එක්ක ගෙන ගියා. එතැනදී මූලස්ථාන පොලිස් ස්ථානාධිපති මහත්තයා මට කිව්වා පහර දුන් බවක් සඳහන් කරන්න එපා කියලා. ඒවගේම ප්‍රශ්නය සමථයකට පත් කර ගන්නා ලෙසත් ඔහු යෝජනා කළා. පසුව මම පැමිණිල්ල නොදා ආපසු ආවා,” ඩබ්ලිව්.ඒ. කාන්ති ලංකා ප්‍රකාශ කළාය.

මූලික අයිතිවාසිකම්

මේ අතර පෙත්සම් කාර පාර්ශවයේ නීතිවේදී ලක්ෂාන් ඩයස් අදහස් දක්වමින් කියා සිටියේ, පෙත්සම් කාරිය වාණිජ ලිංගික සේවා සපයන්නියක ලෙස කටයුතු කළත් ඇයටද මූලික අයිතිවාසිකම් හිමි වන බව කියා පෑම සඳහා මෙම නඩුව ගොනු කළ බවයි.

“අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් සෑම පුද්ගලයෙකුටම මූලික අයිතිවාසිකම් සමාන ආකාරයෙන් හිමි වන බව සඳහන් කර තිබෙනවා. එය පෙත්සම්කාරියටත් පොදුයි. නීතියෙන් පවතින රැකවරණය ඇයටද හිමි විය යුතුයි.” නීතිවේදී ලක්ෂාන් ඩයස් සඳහන් කළේය.

වග උත්තර කරුවන්

පෙත්සම්කාර පාර්ශවයට සහාය පළ කිරීම සඳහා අධිකරණයට පැමිණ සිටි, සාධාරණ මිනිස් සමාජයක් උදෙසා ව්‍යාපාරයේ ඔක්කම්පිටිය දීපංකර හිමියන් කියා සිටියේ කිසිවකුට නීතිය අයුතු ලෙස භාවිතා කරමින් පුරවැසියන්ට හිංසා පීඩා කිරීමට නොහැකි අතර කාන්ති ලංකාට වූ අසාධාරණය සමාජයටම උදාහරණයක් සපයන බවයි.

මෙම පෙත්සමේ වග උත්තර කරුවන් ලෙස නම් කර තිබෙන්නේ රත්නපුර පොලිසියේ ස්ථානාධිපති, ප්‍රදේශය භාර පොලිස් අධිකාරිවරයා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක යන නිලධාරීන්ය.

අදාළ පෙත්සම භාර ගත් බව සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රකාශකයෙකු කියා සිටියේ එය වැඩිදුර විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා වෙත යොමු කර ඇති බවයි.