අගවිනිසුරු ජනපති දූත පිරිසට එක්වීම 'ගැටලුවක්'

Image caption 'දේශපාලන නියෝජිතයන් සමඟ පෙනී සිටීම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක්'

රටක අග්‍රවිනිශ්චයකාරවරයකු දේශපාලකයන් නායකත්වය දරන දූත මණ්ඩලයක සාමාජිකත්වය දැරීම පිළිබඳ පූර්වාදර්ශයක් පොදු රාජ්‍ය මණ්ඩලීය ඉතිහාසයේ දැකගන්නට නොමැති බව නීතිවේදී එකමුතුව පවසයි.

නීතිවේදී එකමුතුවේ නීතිඥ ක්‍රිශාන්ත වැලිඅමුණ ඒ බව කියා සිටියේ, අගවිනිසුරු මොහාන් පීරිස් ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ වතිකාන සංචාරයට එක්වීම පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.

ඉතාලියේ සහ වතිකානයේ තෙදින නිල චාරිකාවකින් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉරිදා යළි දිවයිනට පැමිණි අතර, අගවිනිසුරු මොහාන් පීරිස් ද ජනාධිපතිවරයාගේ දූත පිරිසේ සාමාජිකයකු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කොට තිබුණි.

එය ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය සහ අධිකරණය පිළිබඳව පවතින ජනතා විශ්වාසය සම්බන්ධ බරපතල ගැටලුවක් බවයි, නීතිවේදී එකමුතුව පෙන්වා දෙන්නේ.

ඉහල අධිකරණයේ විනිශ්චයකරුවන් ආණ්ඩුවේ උත්සවවලදී රජයේ මැති ඇමතිවරුන් සමඟ එකම වේදිකාවේ සහභාගි වීම හිටපු අග්‍රවිනිශ්චයකාරවරයාගේ සමයේ බහුලව දක්නට ලැබුණ බව පෙන්වා දෙන නීතිඥ වැලිඅමුණ, අශෝක ද සිල්වා සහ ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරුන් ගේ සමයේ ඒ තත්වය වෙනස් වූ බව කියා සිටියේය.

"ඒත් අවාසනාවකට වගේ නැවත වරක් අපිට දකින්න ලැබෙනවා අලුත් අග්‍රවිනිශ්චයකාරතුමා ආයෙත් බොහෝ රජයේ වැඩසටහන්වලට සහභාගි වෙන ආකාරයක්. දේශපාලන නියෝජිතයන් සමඟ පෙනී සිටීම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් කියලයි මට හිතෙන්නේ," යනුවෙන් ඔහු සඳහන් කළේය.

මේ පිළිබඳව විමසීම පිණිස අගවිනිසුරු මොහාන් පීරිස් ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.