‘හදිසි ඡන්දයක් එපා’ - ආණ්ඩුවේ පක්ෂ තුනක්

Image copyright AFP
Image caption ජනාධිපතිවරයා සහ තිස්ස විතාරණ ඇමතිවරයා

ලබන වසරේ ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් කැඳවනු ලැබීම සම්බන්ධයෙන් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ දේශපාලන පක්ෂ තුනක් විරෝධය පළ කරනු ලැබ ඇතැයි ලංකා සම සමාජ පක්ෂය පවසයි.

එම පක්ෂයේ නායක ජ්‍යෙෂ්ඨ ඇමති මහාචාර්ය තිස්ස විතාරණ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ, සිය පක්ෂය මෙන් ම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණත් හදිසි මැතිවරණයකට එකඟ නැති බවයි.

නියමිත කාලයට පෙර කැඳවීමට ඉඩකඩ ඇති කවර වූ හෝ මැතිවරණයකට මුහුණ දීමට බොහෝ දේශපාලන පක්ෂ සූදානම් වෙමින් සිටින අතරයි, සන්ධාන ආණ්ඩුවට හවුල් සුළු පක්ෂ තුනක් එවැනි කල් තබා කෙරෙන මැතිවරණ කැඳවීමකට විරෝධය පළ කරනු ලැබ තිබෙන්නේ.

හදිසිය අවාසියි

ඉහත කී දේශපාලන පක්ෂ තුනේ යෝජනාව වන්නේ නියමිත පරිදි 2016 වසරේ දී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කැඳවීම වන බවයි, මහාචාර්ය තිස්ස විතාරණ ඇමතිවරයා පවසන්නේ.

‘කල් තබා මැතිවරණ කැඳවීමට ජනාධිපතිවරයාට බලතල ඇතත් අපේ පක්ෂ තුනේ මතය වන්නේ මේ අවස්ථාවේ මැතිවරණ කැඳවීම සුදුසු නොවන බවයි. ඒ හැර අපි ජනාධිපතිතුමාටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කළොත් එක්සත් ජනතා සන්ධානයට යළි බලයට ඒම සඳහා වඩාත් හොඳ වාතාවරණයක් සැලසෙන බව අපි දැනුම් දී තිබෙනවා’ ඇමතිවරයා පවසයි.

ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති යෝජනා මොනවාදැයි සංදේශය ප්‍රශ්න කළ විට තිස්ස විතාරණ ඇමතිවරයා කියා සිටියේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, සමානුපාතික නියෝජන ක්‍රමය වෙනුවට ඡන්ද කොට්ඨාශ පදනම් කර ගත් මිශ්‍ර මහ මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම ආදිය තම යෝජනා අතර ඇති බවයි සඳහන් කළේ.

එසේම, දාහත් වැනි ව්‍යවස්ථා සංශෝධනය යෝජිත සංශෝධන සමඟ ක්‍රියාවට නංවන ලෙසත් ආණ්ඩුව තුළ සිටින වමේ පක්ෂ තුන ඉල්ලා ඇති බවත් ඇමතිවරයා පවසයි.

‘සුදුසු පියවර’

රට තුළ වාර්ගික සහ ආගමික වශයෙන් උද්ගතව පවතින බෙදුම්කාරී තත්වය සමහන් කොට ජාතික අනන්‍යතාවයක් සහතික කෙරෙන වැඩ පිළිවෙලක් සහ ආර්ථික වශයෙන් ධන කුවේරයන්ගෙන් අය කරන බදු වැඩි කරමින් බදු පිළිවෙතේ සිදු කරන වෙනසක් මගින් භාණ්ඩ මිල පහත වැටෙන පියවර ගන්නා මෙන් ඉහත කී දේශපාලන පක්ෂ තුන ජනාධිපතිවරයාට යෝජනා කර ඇති බවයි ලංකා සම සමාජ පක්ෂයේ නායක ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

ඉහත කී ඉල්ලීම් ඉදිරිපත් කරන දේශපාලන පක්ෂ තුනේ නායකයන් තිදෙනාම ආණ්ඩුවේ ඇමති පදවි දරන අතර ජනාධිපතිවරයා ඔවුන්ගේ විරෝධය නොතකා කුමන හෝ හදිසි ඡන්දයක් කැඳවනු ලැබුනොත් ගනු ලබන පියවර කුමක්දැයි සංදේශය ප්‍රශ්න කළ විට තිස්ස විතාරණ ඇමතිවරයා කියා සිටියේ, ‘එය ඒ අවස්ථාවේ දී සලකා බලා සුදුසු පියවරක් ගන්නා’ බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර