ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘අනාථයින් කඳවුරකට යැවීමට එකඟ නැහැ’ - එක්සත් ජාතින්

Image caption ‘අනාථයින් කඳවුරකට යවන ප්‍රතිපත්තිය කෙරෙහි විශ්වාසයක් නැහැ’

ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණය පතන පකිස්ථාන සහ ඇෆ්ගනිස්ථාන ජාතිකයින් වෙනුවෙන් ලැගුම් මධ්‍යස්ථානයක් පිහිටුවන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව කළ ඉල්ලීම සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතින්ගේ මහා කොමසාරිස් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

එවැනි ලැගුම් මධ්‍යස්ථානයක් පිහිටුවීම මගින් දේශපාලන රැකවරණය පතන අය වෙනුවෙන් රැඳවුම් කඳවුරක් ස්ථාපිත කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බව සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතින්ගේ මහා කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශිකා විවියන් ටෑන් සංදේශයට පැවසුවාය.

දේශපාලන රැකවරණය පතන්නන් කඳවුරකට යවන ප්‍රතිපත්තිය කෙරෙහි තමන්ගේ සංවිධානය විශ්වාසය නො තබන බව ඇය ප්‍රකාශ කළාය.

මේ අතර, ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණ පතා පැමිණි අය පිටුවහල් කිරීම නවතන ලෙස ද සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතින්ගේ මහා කොමසාරිස් කාර්යාලය යලිත් වරක් ඉල්ලීමක් කර තිබේ.

‘මේ රැකවරණය පතන අය වධ හිංසාවලින් හා ගැටුම් වලින් ගැලවී ඇවිත් ලංකාවෙන් ආරක්ෂාව පතන අය. තමන්ගේ ඉල්ලීම ඉදිරිපත් කරන්නවත් ඉඩ නො දී ඔවුන් ව පිටුවහල් කරලා වධ හිංසා වලට ගොදුරු වීමේ අනතුරක් ඇති කරන්න එපා කියලා අපි දිගටම ආණ්ඩුවට බල කර සිටිනවා' යනුවෙන් විවියන් ටෑන් පැවසුවාය.

දේශපාලන රැකවරණ පතන පිරිස් පිටුවහල් කිරීම තහනම් කරන මෙන් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

රැකවරණය පතා පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල සිට පැමිණෙන පිරිස් ආර්ථිකමය වශයෙන් ලංකාවට බරක් වී තිබෙන බවයි එක්සත් ජාතින්ගේ සරණාගතයින් පිළිබඳ සැසි වාරය හමුවේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත සමන්ත ජයසූරිය කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණ පතන්නන් වෙනුවෙන් සුබසාධන ලැගුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතින්ගේ මහා කොමසාරිස් කාර්යාලය කටයුතු කල යුතු බවද ඔහු කියා සිටියේය.