'මට ද්‍රෝහියා කියල හංවඩු ගහනවා නම් ජාත්‍යන්තරය හැර කාගේ සරණක් පතන්නද?'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලංකාවේ තිබුණේ 'සිරියාවේ වැනි වාතාවරණයක්'

කොටි සංවිධානයට එරෙහි යුද ගැටුම් පැවති සමයේ ශ්‍රී ලකාවේ පැවතියේ වර්තමානයේ සිරියාවේ සහ ඉරාකයේ පවතින වාතාවරණයට සමාන තත්වයක් බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

ජිනීවා නුවර සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ ඒ බව කියා සිටියේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තිය හා බැඳුනු ශ්‍රී ලංකාවේ ක්‍රියාකලාපය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විමර්ශන සැසිවාරය හමුවේ අදහස් දක්වමින්.

2003 වර්ෂයෙන් පසුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙම විමර්ශනය පැවැත්වෙන ප්‍රථම වතාව මෙයයි.

තවමත් ශ්‍රී ලංකාවට ත්‍රස්තවාදයේ තර්ජනය පවතින බව කියා සිටි තානාපති ආර්යසිංහ, ඒ තත්වය යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දිගටම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවද සඳහන් කළේය.

'සුදු වෑන්'

ආරක්ෂක අමාත්‍යාංශය නියෝජනය කරමින් විමර්ශන සැසිවාරයට එක්ව සිටි ශශිකලා ප්‍රේමවර්ධන අදහස් දක්වමින් කොටි සංවිධානයේ සාමාජිකයන් යලිත් වරක් විදේශවල සංවිධානගත වෙමින් සිටින බව කියා සිටියාය.

Image caption 'ත්‍රස්තවාදයේ තර්ජනය තවමත් තිබෙනවා'

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ බොහෝ සාමාජික සාමාජිකාවන් මෙම සැසිවාරයේදී අදහස් දැක්වූ අතර, ඔවුන් බොහෝ දෙනා ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්ථාවරය දැඩි ලෙස ප්‍රශ්න කිරීම විශේෂත්වයක්.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේදී කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය දිගින් දිගටම උත්සන්න වන බවත්, 'සුදු වෑන්' පැහැරගැනීම් ඇතුළු බලහත්කාර අතුරුදහන් කරවීම් තවමත් බහුලව සිදුවන බවත් විදේශීය නියෝතයෝ සඳහන් කළහ.

මේ අතර ශ්‍රී ලංකාවේ අතුරුදහන්වීම්, වද දීම් සහ සමලිංගිකයන්ට එරෙහි තාඩන පීඩන ඇතුළු කරුණු පිළිබඳව දැනුවත් කිරීමේ අටියෙන් ඇම්නස්ටි ජාත්‍යන්තරය අඟහරුවාදා උදය වරුවේ ජිනීවා නුවර උද්ඝෝෂණ ව්‍යාපාරයක් සහ රැස්වීමක් සංවිධානය කොට තිබුණි.

මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවැත්වෙන එම සම්මන්ත්‍රණයට ශ්‍රී ලාංකික සංවිධාන අටක නියෝජිතයන්ද එක් වී සිටියහ.

අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිඳ සන්ධ්‍යා සහ ත්‍රිකුණාමලයේදී ඝාතනයට ලක් වූ වෛද්‍ය ශිෂ්‍ය රජීහර් ගේ පියා, දොස්තර මනෝහරන් ද ඒ පිරිස අතර සිටිති.

සිය සැමියා පිළිබඳ සාධාරණය පතා වසර ගණනාවක් මුළුල්ලේ අධිකරණයේ පිහිට පතන තමාට බලධාරීන් 'ද්‍රෝහියා' ලෙසින් අවමන් කරද්දී, ජාත්‍යන්තරය පිහිට හැර තමන්ට අන් සරණක් නොමැති බවයි සන්ධ්‍යා එක්නැලිගොඩ ජිනීවා නුවර සිට බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ.