ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අතුරුදහන් වීම් වලට ක්‍රීඩා සංගම් 'වගකිව යුතුයි'

ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකු අතුරුදහන් වීම සම්බන්ධයෙන් එම ක්‍රීඩකයන් භාර ක්‍රීඩා සංගම් වගකිව යුතු බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේය.

ශ්‍රී ලංකාව නියෝජනය කළ බීච් වොලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් සහ ජාතික හොකී කණ්ඩායමේ ක්‍රීඩකයෙක් දකුණු කොරියාවේදී අතුරුදහන් වූහ.

‘ඒකට අදාළ ක්‍රීඩා සංගම් වගකීම බාර ගත යුතුයි. ක්‍රීඩා සංගම් සමග ගිය නිලධාරියා ඒ වගකීම බාර ගත යුතුයි. අපි ඒ සම්බන්ධයෙන් දැන් පරීක්ෂණයක් සිදු කරනවා’ යනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා අදහස් පළ කළේය.

තරගාවලියට සහභාගි වීම සඳහා ආරම්භයේදී හොකී සංගමයට අවසර ලබා නොදුන් බවත් ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේය.

‘හොකී සංගමය ගැන කතා කරනවාට වඩා හොදයි කතා නොකරන එක. මම ඒගොල්ලන්ට යන්ඩ දුන්නේ නැහැ. නමුත් මෙතන ඇවිල්ල බලහත්කාරයෙන් අඬලා ඔලිම්පික් සංගමයෙන් ලියුමක් අරන් ඇවිල්ල ගියේ. අන්ත පරාජයක් අත් වුණේ. ගෝලයක් ගැහුවේ නැහැ’ යනුවෙන් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.

ජපානයේදීත්

පසු ගියදා ජපානයේ පැවති ආසියානු ප්‍රවීණයන්ගේ ශුරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් විස්සකට ආසන්න පිරිසකගේ අතුරුදහන් වීම් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් ප්‍රකාශ කළේය.

‘අපිට එකේ වගකීම බාර ගන්න බැහැ. අපි හරහා නෙවෙයි ගියේ. ඒකට අපේ අනුමැතියක් නැහැ. පැහැදිලිව මුදල් එකතු කරලා වංචාවක් සිදු වෙලා තිබෙනවා’ යනුවෙන් ඔහු පැවසීය.

මීට අමතරව ආසියානු ක්‍රීඩා උළෙල්දී ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමට කිසිදු පදක්කම් දිනා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා සිය අප්‍රසාදය පළ කළේය.