ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පාප්තුමා සහ සජින් වාස්: 'අනවශ්‍ය ප්‍රශ්නයක්'

සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාට ශුද්ධෝත්තම පාප් වහන්සේ මුණගැසීමට අවස්ථාවක් නොලැබුණේ මන්දැයි යන්න පිළිබඳව කිසිදු අදහසක් පළ කළ නොහැකි බව ඉතාලියේ සිටින නියෝජ්‍ය ඇමතිවරයෙක් පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වතිකාන චාරිකාවට සම්බන්ධ වූ ධීවර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න සංදේශයට කියා සිටියේ ඒ පිළිබඳව අදහස් දැක්වීම විදේශ අමාත්‍යංශයට හෝ වෙනත් බලධාරීන්ට අදාළ කරුණක් බවයි.

"හැබැයි ප්‍රශ්නයක් පැන නැගිලා තියෙන වෙලාවක ප්‍රශ්නේ විසඳන්න ලෝකේ ඉන්න හොඳම නායකයා අපේ ජනාධිපතිතුමා," යනුවෙන්ද නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සංවාදයකට එක්වෙමින්.

"අනවශ්‍ය දේවල් පිළිබඳව ප්‍රශ්න ඇතිකිරීමේ උත්තර දීමට මම සූදානම් නෑ," යනුවෙන්ද ඔහු පැවසීය.

'මැතිවරණයක්?'

බ්‍රිතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස්ට පහරදීමේ චෝදනා ලබා සිටින වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාට පාප් වහන්සේ මුණගැසීමට අවස්ථාවක් ලබාදීම වතිකානය ප්‍රතික්ෂේප කළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.

වෛද්‍ය නෝනිස්ගේ ඉල්ලා අස්වීම පිළිගැනීමට ජනාධිපතිවරයා තීරණය කළේ ඉන් අනතුරුව බවද වාර්තා වේ.

කිසියම් රටක මැතිවරණයක් පැවැත්වෙන අවස්තාවක සංචාරය පාප් වහන්සේ සංචාරය නොකිරීම සාමාන්‍ය සම්ප්‍රදායය වන අතර, ජනවාරි මාසයේ මැතිවරණයක් පැවැත්වීමක් පිළිබඳව සාකච්ඡා වූයේදැයි විමසූ අවස්ථාවේ නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේ පාප් වහන්සේගේ සංචාරයේ දින වකවානු දැනටමත් ප්‍රකාශයට පත් කොට තිබෙන බවයි.

මැතිවරණයක් පැවැත්වෙන කාලය තීරණය කිරීම ජනාධිපතිවරයා ඇතුළු ඉහල නිලධාරීන් සතු කාර්යයක් බවද ඔහු සඳහන් කළේය.