වර්ජනය අත්හැරීමේ තීන්දුව සිකුරාදා උදේ

Image copyright AFP

වෘතීය සමිති සහ බලධාරීන් අතර සාකච්ඡා පැවැත්වුනත් තවමත් තම ප්‍රශ්න වලට විසඳුමක් ලැබී නැති බව දුම්රිය වෘතීය සමිති ප්‍රකාශ කරයි.

එහෙත් දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ. පී. ආරියරත්න පැවසුවේ හෙට, සිකුරාදා උදේ වන විට දුම්රිය සේවය යහපත් අතර හැරෙන බවට විශ්වාස කල හැකි බවයි.

වෘතීය සමිතිය බලධාරීන් හා සාකච්ඡා පවත්වා ඇති බවත් වර්ජනය අත්හැර දැමීමට සරිලන පිළිතුරු ඔවුන්ට ලබා දී ඇති නිසා නිල වශයෙන් දැනුම් දී නැතත් හෙට උදේ වර්ජනය අත් හරින ලකුණු දක්නට ඇති බවයි ඔහු කියා සිටියේ.

එහෙත් වර්ජනය දියත් කල ශ්‍රේණිගත වෘතීය සමිති එකතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු ප්‍රකාශ කළේ හෙට උදේ 10.00 වන විට ජනාධිපති ලේකම් වරයා සමඟ සාකච්ඡාවකට කැඳවූයේ නැත්නම් වර්ජනය දිගටම කර ගෙන යන බවයි.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් දිවයිනේ දුම්රිය ධාවනය අඩාළ විය.

මේ හේතුවෙන් කාර්යාල සේවකයන් ඇතුළු දහස් ගණන් ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන්හ.

ශ්‍රේණිගත වෘතීය සමිති එකතුව දියත් කල වර්ජනයට දුම්රිය නියාමකයෝ, අධීක්ෂණ නියාමකවරු, දුම්රිය ස්ථානාධිපතිවරු, සහ දුම්රිය පාලකවරු ඊට එක්වී සිටිති.

තැපැල් දුම්රිය

ඊයේ රාත්‍රී සියලු තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය බලධාරීන්ට සිදුවූ බවයි, ශ්‍රේනිගත වෘතීය සමිති එකතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.

තම වැටුප් විෂමතා සමථයකට පත් කර ගැනීම පිණිස අද, බ්‍රහස්පතින්දා හෝ ජනාධිපති ලේකම්වරයා මැදිහත්ව විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව කියා සිටි ඔහු වැඩවර්ජනය අඛණ්ඩව පවත්වා ගෙන යන බව පැවසුවේය.

කාර්යාල දුම්රිය

දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී.ආරියරත්න පැවසුවේ මගීන්ගේ පහසුව සඳහා තිබෙන සම්පත් උපරිම ලෙස උපයෝගීකර ගෙන දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කොට ඇති බවයි.

යම් යම් අපහසුතා ඇති වුවත් උදෑසන සහ සවස කාර්යාල දුම්රිය ධාවනය කිරීමට විධි විධාන යොදා ඇති බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර