ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මැතිවරණය 'ලබන වසරේ මුල් කාර්තුවේ'

ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් පත් කිරීමට විවිධ හේතු තිබෙන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, බ්‍රහස්පතින්දා උද්භිද උද්‍යාන සහ පොදු විනෝදාත්මක කටයුතු පිළිබඳ අමාත්‍යංශයට නියෝජ්‍ය අමාත්‍යවරයකු පත් කරනු ලැබුවේ එම අමාත්‍යංශයේ රාජකාරි බහුල නිසාද නැතිනම් වෙනත් දේශපාලන අවශ්‍යතාවයක් උඩදැයි බීබීසී සංදේශය මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

"විවිධ හේතුන් නිසා ඇමතිවරුන් පත්කරනවා. දේශපාලන පක්ෂ විසි දෙකක් ඉන්නවනේ අපිත් එක්ක," යන්නයි ඒ ප්‍රශ්නයට ඇමතිවරයාගේ පිළිතුර වූයේ.

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් රාධක්‍රිෂ්ණන් නව නියෝජ්‍ය අමාත්‍ය පදවියේ දිවුරුම් දීමත් සමඟ රජයේ මුළු ඇමති සංඛ්‍යාව 109 ක් දක්වා ඉහල ගියේය.

විශාල ඇමති මණ්ඩලයක් නඩත්තු කිරීම සම්බන්ධයෙන් රජයට එල්ල වන චෝදනාවට මීට ඉහතදී බොහෝ වතාවල පිළිතුරු දී ඇති බවත් අමාත්‍ය රඹුක්වැල්ල සඳහන් කළේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්.

මැතිවරණය

ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටළුවලට විසඳුම් ලබාදෙනු වස් විශේෂ අමාත්‍ය මණ්ඩල කමිටුවක් ක්‍රියාත්මක වන බව පැවසූ අමාත්‍යවරයා, මැතිවරණයක් ඉලක්ක කරගනිමින් ගෑස් මිල අඩුකිරීම වැනි සහන ලබා දෙන බවට ආණ්ඩුවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළේය.

"කවුද කිව්වේ මැතිවරණය ලඟයි කියලා. තාම නිවේදනය කරලා නැහැනේ. ජනවාරිය කියල මම කිව්වේ නැහැනේ. ඔය කට්ටියනේ කියන්නේ," යනුවෙන්ද ඔහු පැවසීය.

ඉදිරි මැතිවරණ පැවැත්වෙන කාලවකවානුව පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් ලබා දෙන ලෙස මාධ්‍යවේදිනියක් කල ඉල්ලීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා, මැතිවරණ දිනය පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති නමුත් ඉක්මන් මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව සාකච්ඡාවක් රාජ්‍ය තුල මතුව ඇති බව කියා සිටියේය.

ඉක්මන් මැතිවරණය ලබන වසර මුල පැවැත්වෙන බවට අමාත්‍යවරයා මින් පෙර සඳහන් කොට ඇති බව පෙන්වාදුන් එම මාධ්‍යවේදිනිය එසේනම් එය ජනවාරියේ පැවැත්වෙන්නේ දැයි අමාත්‍යවරයාගෙන් විමසීය.

එයට පිළිතරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ලබන වසර මුල යනු වසරේ මුල් කාර්තුවද විය හැකි බවයි.

පාප් වහන්සේගේ සංචාරය හේතුවෙන් ජනාධිපතිවරණය බොහෝවිට මාර්තු මාසය දක්වා කල් යා හැකි බව නම සඳහන් කිරීමට අකමැති වූ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් බ්‍රහස්පතින්දා බීබීසීයට පැවසීය.