‘ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන වේවිද?’ - රජය

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන පරීක්ෂණ කොමිෂමේ සියළු නිර්දේශ ක්‍රියාත්මක නොකරන බව රජය පවසයි.

කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා එම අදහස පළ කළේ සිකුරාදා (10) අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී බිබීසිය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කොමිසමේ ප්‍රධාන නිර්දේශයක් වන ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමට විපක්ෂය ද ඔවුන්ගේ සහාය ලබා දෙන බව පවසන අවස්ථාවක එය ක්‍රියාත්මක කිරීමට රජය මැලි වන්නේ කුමක් නිසාදැයි බීබීසී සංදේශය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා ඉහත කී අදහස් පළ කළේ.

" ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය පිළිබඳ ව අපට ප්‍රශ්නයක් තියෙනවා. කවුද පත් කරන්නේ කොමිෂන් සභාව? දැනට තියෙන්නේ රාජ්‍ය නායකයා ව්‍යවස්ථාව අනුව පත් කිරීමක්. කවුරු හරි තව පත් කරතත් ඒ අයත් පක්ෂග්‍රාහී වුනා කියල කතාවක් එන්න පුළුවන්" ඇමතිවරයා සඳහන් කළේය..

ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සම්බන්ධයෙන් රජය තුළ විවිධ මතවාද ඇති බව පැවසූ අමාත්‍යවරයා, ඒ පිළිබඳව ක්‍රමානුකූල ව සාකච්ඡා කොට සාධාරණය ඉෂ්ට කිරීමට රජය බලාපොරොත්තු වන බවයි සඳහන් කළේ.

රජයේ බැඳීමක් නැහැ

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ සියල්ල ක්‍රියාත්මක කිරීමට රජය සුදානම්ද? නැද්දැයි? බීබීසිය ප්‍රශ්න කළ විට ඇමතිවරයා කියා සිටියේ සියල්ලම ක්‍රියාවට නැංවීමට රජය බැඳී නොමැති බවයි.

"පැහැදිලිව ම ඒ සියල්ල ක්‍රියාත්මක කිරීමට රජය බැදිලා නැහැ, උපරිම මට්ටමින් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇති දේවල් ගැන අපි අවධානය යොමු කරනවා. රටක රජයක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තියෙනවා" ඇමතිවරයා කියා සිටියේය.

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ 180ක් ඇති අතර එයින් 144ක් ක්‍රියාත්මක කිරීමටයි ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.

ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවකින් ඉන් නිර්දේශ 45 ක් මේ වන විට සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කොට ඇති බව රජය අද නිවේදනය කොට ඇත.

ඇතැම් නිර්දේශ පමණයි

" මේ සඳහා යන කාලය සම්බන්ධයෙන් අපි සාධාරණ වෙන්න අවශ්‍යයි. ලෝකයේ මෙවැනි ප්‍රශ්න තිබුණු රටවල් ගණනාවක් තිබුණා., ඒවායේ තාමත් ඒ ප්‍රශ්න තියෙනවා, අපි හැකි ඉක්මනින් මේවා ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා- මේ ප්‍රශ්න විසඳන්න"කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා පැවසීය.

මේ වසර මුල විදේශ අමාත්‍ය ජී.එල් .පීරිස් පාර්ලිමේන්තුව ඉදිරියේ කියා සිටියේ උගත් පාඩම් කොමිසමේ නිර්දේශවලින් 85% ක් පමණ රජය ක්‍රියාත්මක කර ඇති බවයි.

එම අවස්ථාවේ දී නිර්දේශවලින් යම් ප්‍රමාණයක් ක්‍රියාත්මක නො කරන බවට ඔහු ප්‍රකාශ නො කිරීම විශේෂත් වයකි.

ශ්‍රී ලංකාවට හිතවත් විදේශ රටවල් පවා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේ උගත් පාඩම් කොමිසම් වාර්තාවේ නිර්දේශ සියල්ල ක්‍රියාත්මක කරන ලෙසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර