වව්නියාවේ නිහඬ විරෝධතා ව්‍යාපාරයක්

වවුනියාව දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ සභාපති ක්‍රිෂ්ණපිල්ලේ දේවරාසාට පහර දෙනු ලැබීමට එරෙහිව අද සිකුරාදා (10 ) දහවල් වවුනියාවේදී නිහඩ විරෝධතාවයක් සහ පෙලපාලියක් පැවැත්වුණි.

වවුනියාව නගර සභා ක්‍රීඩාංගනයට එක් වූ උද්ඝෝෂකයන් කළු රෙදි පටි වලින් මුව ආවරණය කර ගනිමින් වවුනියාව අධිකරණ සංකීර්ණය ඉදිරි පිටට පෙලපාලියකින් ගොස් එම ස්ථානයේදී පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වූ බවයි, දිනසේන රතුගමගේ වාර්තා කරන්නේ.

ක්‍රිෂ්ණපිල්ලේ දේවරාසාට පසුගිය අට වෙනිදා පහර දී තිබුණේ නෙඩුන්කේණි ප්‍රදේශයේදී.

ප්‍රහාරයට එරෙහිව වවුනියාව දිස්ත්‍රික් පුරවැසි කමිටුව විසින් සංවිධානය කළ ඉහත කී විරෝධතාවයට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ සහ දකුණේ තවත් ස්වේච්ඡා සංවිධාන කීපයකද සහයෝගය ලැබී තිබුණි.

කළු රෙදිපටි බැඳ

පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය මගින් කිලිනොච්චියේදී මීට මාස කීපයකට පෙර අත් අඩංගුවට ගත් ජෙයකුමාරී නම් කාන්තාව නිදහස් කරණ මෙන් ඉල්ලා සිටීම සඳහා උද්ඝෝෂණයක් සංවිධානය කරමින් සිටියදීයි, නාඳුනන කණ්ඩායමක් විසින් ක්‍රිෂ්ණපිල්ලේ දේවරාසාට පහර දී තිබුණේ.

වව්නියාවේ විරෝධතා ව්‍යාපාරයට එක් වූ කණ්ඩායම දැනට පොලිස් අත් අඩංගුවේ සිටින ජෙයකුමාරී නිදහස් කරණ ලෙසත් රජයට බල කළ බවයි දිනසේන රතුගමගේ වාර්තා කරන්නේ.

විරෝධතාවය අවසන් වීමෙන් පසුව යළි පෙලපාලියකින් වව්නියාව නගර සභා ශාලාව වෙත පැමිණි පිරිස එහි රැස්වීමක් පවත්වණු ලැබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර