සබරගමුව සරසවි සිසුන්ට මැර ප්‍රහාරයක්

සත්‍යග්‍රහයක නිරතව සිටි සබරගමු විශ්වවිද්‍යාලයීය සිසුන් පිරිසකට කිසියම් පිරිසක් විසින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ සිසුන් රෝහල ගත කොට තිබේ.

ප්‍රදේශවාසීන්ද තුවාල ලබා ඇති බව පැවසූ සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය කමිටුවේ ක්‍රියාකාරිකයකු වන නුවන් බුද්ධික මේ ප්‍රහාරය පිටුපස ප්‍රාදේශීය දේශපාලකයන්ගේ සම්බන්ධයක් ඇති බවට සැක කරන බව ප්‍රකාශ කළේය.

සත්‍යග්‍රහය

බදුල්ල කොළඹ පාරේ පඹහින්න මංසන්දියේ සාමකාමීව සත්‍යග්‍රහයේ නිරතව සිටි සිසුන්ගේ අට්ටාලය කඩා බිඳ දමා සිසුන්ට එලව එළවා පහරදුන් බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඒ අවට තිබු වෙළෙඳ සල් ආදියේ රැකවරණ ගත් අවස්ථාවේදී එලියට ගෙන යළි යළිත් පහර දුන් බවයි ඔහු පැවසුවේ.

කඩු,පොලු, යකඩ පොලු,හා දම්වැල් ආදිය රැගත් විසි පස් දෙනකුගෙන් පමණ වූ එම මැර කණ්ඩායම නිරායුධ සිසුන්ට පමණක් නොව වෙළඳ සල් වල සිටි අයටද පහර දුන් බවයි ඔහු කියා සිටියේ.

පහරදීමෙන් විශ්වවිද්‍යාල සිසුන් විසිදෙනකු පමණ තුවාල ලැබු බව පැවසූ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය කමිටුවේ ක්‍රියාකාරිකයකු වන නුවන් බුද්ධික ප්‍රදේශවාසීන්ද තුවාල ලබා ඇති බව පැවසුවේය.

අද සෙනසුරාදා සවස් වන විටත් සිසුන් එකොලොස් දෙනකු රෝහල් ගත කොට සිටි බවයි ඔහු පැවසුවේ.

අනතුරු ඇඟවීම

ඊයේ සිකුරාදා සවස බදුල්ල කොළඹ පාරේ පඹහින්න මංසන්දියට පැමිණි ප්‍රාදේශීය දේශපාලකයකු සිසුන් සත්‍යග්‍රහ කල අට්ටාලය ඉවත් කර ගත නොගතහොත් එය ඉවත් කරන බවට අනතුරු අඟවා ගිය බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් සිසුන් මෙන්ම ගම්වාසීන්ද පොලීසියට පැමිණි කළ බවද විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය කමිටුවේ ක්‍රියාකාරිකයකු වන නුවන් බුද්ධික තවදුරටත් ප්‍රකාශ කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර