'අපිට අවශ්‍යව තිබෙන්නෙත් ශ්‍රේෂ්ඨාධිකරණයෙත් මේ තිබෙන දේශපාලන මැදිහත්වීම හෙළිදරවු කරගන්න'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'නීතිවිරෝධී' මැතිවරණයට එරෙහි ව්‍යාපාරයක් - ජවිපෙ

නියමිත කාලයට පෙර 'නීතිවිරෝධී' ජනපතිවරණයක් කැඳවීමේ ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව ජනතාව පෙළ ගස්වන බව ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ප්‍රකාශ කරයි.

හදිසි මැතිවරණයක් කැඳවීමට මෙන්ම එයට තරඟ කිරීමටත් ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූල බලයක් නොමැති බව පවසන පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා, 'ව්‍යවස්ථා විරෝධී මැතිවරණයක්' මාර්ගයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යළිත් වරක් ජනපති පදවියට පත්වීම වැළැක්වීම මේ මොහොතේ ප්‍රමුඛත්වය දිය යුතු අවශ්‍යතාවය ලෙසින් සලකා කටයුතු කරන බවද සඳහන් කළේය.

"අපි කිසිසේත්ම ව්‍යවස්ථානුකූල නොවන ජනාධිපතිවරණයකට ඉඩ ලබා දෙන්නේ නෑ. අපි ඒ සඳහා තමයි ප්‍රමුඛතාවය දෙමින් තියෙන්නේ," යනුවෙන් ඔහු කියා සිටියේ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

ඒ ප්‍රයත්නය පරාජය වී ජනාධිපතිවරයා විසින් මැතිවරණයක් කැඳවනු ලැබුවහොත් ජනාධිපතිවරයා පරාජය කිරීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

'පූර්ව නිගමණ එපා'

එළැඹෙන ජනාධිපතිවරණයකදී සිය පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ජවිපෙ සැරසෙන බවට වාර්තා පළ වූ අතර, ඉන් අනතුරුව හදිසියේම ජනපතිවරණයට විරුද්ධ වීමට තීරණය කළේ ඌව පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලයෙන් අනතුරුව දැයි සංදේශය කළ විමසීමට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා කියා සිටියේ එය කිසිසේත්ම හදිසි තීන්දුවක් නොවන බවයි.

ඕනෑම නීත්‍යානුකූල ජනපතිවරණයකට සක්‍රීයව මැදිහත්වීමට සිය පක්ෂය මැලි නොවන බව පැවසූ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා, එහෙත් වර්තමානයේ මතු වී තිබෙන්නේ සහමුලින්ම වෙනස් තත්වයක් බවද සඳහන් කළේය.

නියමිත කාලයට පෙර පැවැත්වීමට සැරසෙන ජනපතිවරණය සම්බන්ධ ගැටලුව 'කඩා වැටී තිබෙන' අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක් මතුව තිබෙන බවයි, ඔහු පවසන්නේ.

"අපිට අවශ්‍යව තිබෙන්නෙත් ශ්‍රේෂ්ඨාධිකරණයෙත් මේ තිබෙන දේශපාලන මැදිහත්වීම හෙළිදරවු කරගන්න. ලංකාවේ පළවෙනි වතාවට බංකු සභාපතිවරයෙක් අධිකරණයේ පළමු පුටුවේ වාඩිවෙලා තියෙන්නේ," යනුවෙන්ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ජනපතිවරණයට එරෙහි වීම මගින් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බවට 'පූර්ව නිගමණයකට' එළඹිය යුතු නැති බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.