ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මහින්ද පරාජය කරනවා - රතන හිමි

ව්‍යවස්ථා සංශෝධනයකට නොගොස් හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ ක්‍රියා කරන්නේ නම් ඔහු පරාජය කිරීමට හැකි සියල්ල කරන බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති.

දහඅට වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර දහනව වැනි සංශෝධනයක් ගෙන ඒම සඳහා සිය ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන පිවිතුරු හෙටක් ජාතික සභාවේ යෝජනා මාලාව එළිදක්වමින් අතුරලියේ රත්න හිමියෝ එසේ සඳහන් කළහ.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අඟහරුවාදා පැවැත්වුන උත්සවයට මාදුළුවාවේ සෝභිත හිමි, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා සහ ආණ්ඩු පක්ෂ හා විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි සිටියහ.

විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම, අමාත්‍ය මණ්ඩලය සීමා කිරීම, මනාප ඡන්ද ක්‍රමය අහෝසි කර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීම ඇතුළු තවත් යෝජනා කිහිපයක් සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ දහනව වන සංශෝධනය ආණ්ඩුව විසින් පිළිගත යුතු බවයි උත්සව සභාව අමතමින් අතුරලියේ රතන හිමියන් පැවසුවේ.

කළ වැරදි

දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිත කිරීම ජාතික හෙළ උරුමය කළ බරපතළ වැරැද්දක් බවත් රත්න හිමියෝ එහිදී සඳහන් කළහ.

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ බහුතර බලය ලබා දීමට තමන් සුදානම් බව කියා සිටි අතුරලියේ රතන හිමි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන වමේ පක්ෂ ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් මන්ත්‍රීවරුන්ද ඊට දැනටමත් සහය පළ කර ඇති බවයි පැවසුවේ.

නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂට හිතවත් නක්ෂත්‍ර කරුවන්ගේ උපදෙස්ද බලපා ඇති බව අතුරුලියේ රතන හිමියෝ වැඩි දුරටත් පැවසූහ.

පිවිතුරු හෙටක් ජාතික සභාව සංවිධානය කළ දේශනයට සහභාගී වූ සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ ප්‍රධානී මාදුළුවාවේ සෝභිත හිමියෝ එහිදී කියා සිටියේ අතුරුලියේ රතන හිමියන්ට සිය සහයද හිමි වන බවයි.