ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ආණ්ඩුවට පිස්සු, බුද්ධි අංශයට පිස්සු - වික්ටර් අයිවන්

වික්ටර් අයිවන් සහ අමල් ජයසිංහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජානකී හෝටලයේ පැවැත්වීමට නියමිතව තිබුණ ගවේෂණාත්මක මාධ්‍යවේදය පිළිබඳ පුහුණු වැඩසටහනට සහභාගිවීමට නියමිතව සිටි මාධ්‍යවේදීන්ට සහ එහි සංවිධායකයන්ට අඟහරුවාදා සවස සිට දුරකථනයෙන් මරණ තර්ජන එල්ල වූ අතර, ඇතැම් සංවිධායකයන්ගේ අඹු දරුවන්ට පවා මරණ තර්ජන එල්ල කොට තිබුණි.

වැඩසටහන අවලංගු කර ඇති බවත්, එය කොටි සංවිධානයේ රැස්වීමක් බැවින් එයට සහභාගි වූවන්ට පහර දෙන බව පවසමින් රට බේරාගත් දේශප්‍රේමී බලකාය යනුවෙන් හඳුන්වාගත් සංවිධානයක නමින් මාධ්‍යවේදීන්ගේ දුරකථනවලට කෙටි පණිවිඩයක්ද යවා තිබුණි.

තර්ජන හමුවේ වැඩසටහන අවලංගු කිරීමට සංවිධායකයන් මුලදී තීරණය කළත් එයට සහභාගිවීමට නියමිත සිටි මාධ්‍යවේදීන් එයට විරෝධය පළකිරීම හේතුවෙන් කලින් යොදාගත් පරිදිම ජානකී හෝටලයේ එය පැවැත්වීමට පසුව තීරණය කොට තිබේ.

එහෙත් එය පැවැත්වීමට ඉඩ නොතබන ලෙස ජානකී හෝටලයට බදාදා උදෑසන සිට විවිධ බලපෑම් එල්ල විය.

'අවසාන නිවේදනය'

අංක තහඩු රහිත යතුරු පැදියකින් හෝටලය දෙසට පැමිණි දෙදෙනකු පාර්සලයක් එම ස්ථානයට විසිකොට තිබේ. එම පාර්සලය විවෘත කළ විට "ජානකී හෝටලය, එල්.ටී.ටී එකට ඉඩ දෙන්න එපා. අවසාන නිවේදනය," යනුවෙන් ගුලි කළ කඩදාසියක ලියා තිබුණි.

ඒ අනුව කොළඹ රහසිගත ස්ථානයක වැඩසටහන පැවැත්වීමට සංවිධායකයෝ තීරණය කළහ. ඔවුන් සිටින ස්ථානය ප්‍රකාශ කරන ලෙස පවසමින් එය පැවැත්වෙන අවස්ථාවේදීත් සංවිධායකයන්ට සහ මාධ්‍යවේදීන්ට දිගින් දිගටම දුරකථනවලින් තර්ජනය කෙරිණ.

වැඩසටහනට සහභාගි නොවන ලෙස පවසමින් තමන්ටත් කෙටි පණිවිඩයක් ලැබුණු බව වැඩසටහනේ ප්‍රධානත්වය දැරූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් බීබීසී සංදේශයට පැවසීය.

"හරිම අශීලාචාර තත්වයක්. මගේ දුරකථනයටත් ඇවිල්ලා තියෙනවා කෙටි පණිවිඩයක් ආවොත් මරණවා කියලා," යනුවෙන් ඔහු සඳහන් කළේය.

"මේවා සාමාන්‍යයෙන් සිදුවෙන්න බෑනේ?. මේක සංවිධානාත්මක බුද්ධි අංශය කළ වැඩක්, ආණ්ඩුව ලැජ්ජා වෙන්න ඕනේ."

මාධ්‍යවේදීන්ට තමන්ගේ දැනුම වැඩිදියුණු කිරීමට තිබෙන අයිතියට බාධා කිරීමට ආණ්ඩුව දරන උත්සාහය අශීලාචාර ක්‍රියාවක් බවද වික්ටර් අයිවන් පැවසීය.

"මේවා කරන්න නෙමෙයි මිනිස්සු ආණ්ඩු පත්කරන්නේ. මේ ආණ්ඩුවට පිස්සු, බුද්ධි අංශවලට පිස්සු."

'අඬු කඩලා මරල එල්ලනවා'

වැඩසටහනට සහභාගි වූ වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ජනූර් කිචිලාන්ටද අඟහරුවාදා සිට දුරකථනයෙන් මරණ තර්ජන එල්ලවී තිබේ.

"මට කතාකරල කිව්වා සහභාගි වුනොත් අඬු කඩලා මරල එල්ලනවා කියලා. එයාටෙල් අංකයකින් තමයි තර්ජනය කළේ," යනුවෙන් ජනූර් කිචිලාන් කියා සිටියේය.

තර්ජන එල්ල වුවත් වැඩසටහන සාර්ථකව පවත්වා අවසන් කිරීමට හැකිවීම මාධ්‍යවේදීන් ලද ජයග්‍රහයක් බවත් ඔහු සඳහන් කළේය.

"මේ වගේ කොපමණ තර්ජන ආවත් ඉදිරියේදී නිර්භීතව ලංකාවෙම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් එකතුකරගෙන මේවට මුහුණදෙනවා."

තමන්ට නිර්නාමිකව දුරකථන ඇමතුම් ලබාදුන් පිරිස අතර ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රජයේ බුද්ධි අංශයට සම්බන්ධ පුද්ගලයන්ද සිටි බව, ලංකාදීප පුවත්පතේ ත්‍රිකුණාමලය වාර්තාකරු අමදෝරු අමරජීව සංදේශයට පැවසීය.

ආරක්ෂක අංශවලට සම්බන්ධ කණ්ඩායම් වැඩසටහන කඩාකප්පල් කිරීමට කොපමණ උත්සාහ කළත් මෙම වැඩසටහන සාර්ථකව පවත්වා අවසන් කිරීමට සංවිධායකයනට හැකිවූ බව එහිදී අදහස් දැක්වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සුනිල් ජයසේකර සඳහන් කළේය.

කොපමණ තර්ජන එල්ල්වුවත් ඉදිරියේදීත් මෙවැනි වැඩසටහන් පවත්වන බවද සුනිල් ජයසේකර කියා සිටියේය.

ජනමාධ්‍යවේදීන්ට මරණ තර්ජන කළ බවට රජයේ බුද්ධි අංශවලට එල්ල වන චෝදනා පිළිබඳව විමසූ විට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කියා සිටියේ, ඒ පිළිබඳව පැමිණිල්ලක් ලැබුනහොත් පරීක්ෂණ ආරම්භ කරන බවයි.

එහෙත් මේ පිළිබඳව පොලිස්පතිවරයාට ඍජුවම පැමිණිලි කළ බව, වැඩසටහන සංවිධානය කළ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.