විදේශිකයන්ට උතුර තහනම්

Image copyright pccsl.lk
Image caption යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය

උතුරේ සංචාරය කිරීමට ‍අපේක්ෂා කරන විදේශිකයින් එහි යාමට පෙර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට දැනුම් දිය යුතු බව රජය පවසයි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය අද, බදාදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ තීරණය ප්‍රකාශ කළේය.

උතුරේ ජාතීන් අතර අසමගිතාවක් මෙන්ම ගැටුම්කාරී තත්වයක් ඇති වන ආකාරයට කටයුතු කරන සුළු පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවත් බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මීට හේතු දක්වමින් තවදුරටත් කියා සිටියේය.

ඔහු පැවසුවේ, එම තත්වය ඇති කිරීමට උත්සාහ දරන්නේ ඉතාමත්ම සුළු පිරිසක් වුවත් ඉන් ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් ඇති කළ හැකි බවයි.

එවැනි තත්වයක් යළි නිර්මාණය වීමට ඉඩදීමට කිසිසේත්ම හැකියාවක් නැතැයිද ඔහු කීවේය

ජාතික ආරක්ෂාව

ජාතික ආරක්ෂාවට තර්ජන එල්ලවන අන්දමින් ක්‍රියා කරන ඉතා සුළු පිරිසක් විසින් සිදු කරන ක්‍රියා මාර්ග පිළිබඳව පසුගිය කාලය පුරා කල අධ්‍යනයකින් අනතුරුව මේ තීරණය ගත් බවයි බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය ප්‍රකාශ කළේ.

එවැනි තත්වයක් යළි නිර්මාණය වීමට ඉඩදීමට කිසිසේත්ම හැකියාවක් නැතැයිද ඔහු කීවේය.

රාජ්‍ය නොවන සංවිධාන හෝ විදේශීය රාජ්‍ය හෝ ජාත්‍යන්තර සංවිධාන හෝ ඉලක්ක කොට ගෙන ගත් තීරණයක් නොවන බවත් බ්‍රිගේඩියර් වනිගසූරිය පැවසුවේය.

උතුරට ඕනෑම අයකුට යාමට හැකියාව ඇති බව කියා සිටි ඔහු අවශ්‍ය වන්නේ ෆැක්ස් පණිවිඩයක් මගින් හෝ ලිපියක් මගින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට දන්වා අවසර ගැනීම පමණක් බව ප්‍රකාශ කළේය.

විදේශ ගතව සිටින උතුරේ දෙමළ වැසියන් යුද්ධය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකාවට පැමිණ සිය ඥාතීන් දැක බලා ගැනීමට නිදහසේ උතුරේ සංචාරය කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුන අතර නව තීරණයත් සමඟ ඔවුන්ටද රජයේ තීරණය අනුව ආරක්ෂක අමාත්‍යංශයට දැනුම් දීමට සිදු වෙයි.

චෝදනා

Image caption දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්

රජය මෙවැනි තීරණයක් නොගෙන කිසිවකුට විරුද්ධව චෝදනා ඇත්නම් එම තැනැත්තා පමණක් උතුරට යාම නැවැත්විය යුතු බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළේය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් පවසන්නේ මේ තීරණය සම්පූර්ණයෙන්ම වැරදි එකක් බවයි.

විදේශවල සිටින දෙමළ ජනතාව ආපසු පැමිණ සිය ඥාතීන් දැක බලා ගෙන සිය ගම් බිම් වල කෝවිල් ආදිය වැඳ පුදා ගෙන ආපසු යන බවත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ගැන අසන්නට ලැබී නැති බවත් ඔහු පැවසුවේය.

යුද හමුදා පාලනය

යුද හමුදාව තම පාලනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙවැනි තීරණ ගන්නා බවයි ඔහු ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන අයෙකුට දකුණට හෝ වෙනත් පළාතකට යා හැකි නම් ඔහුට උතුරට යාමට නොහැකි ඇයි දැයි ඔහු ප්‍රශ්න කරන්නේය.

එසේම ශ්‍රී ලංකාවට ඒමට හැකියාව ඇත්නම් උතුරට යාමට නොහැකි ඇයිද යන්න ඔහු නගන තවත් ප්‍රශ්නයක්.

කිසිවකුට විරුද්ධව චෝදනා තිබේ නම් එම තැනැත්තා ට පමණක් උතුරට යාම නැවැත්විය යුතු බවයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් තවදුරටත් ප්‍රකාශ කළේ .