ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය වලංගු අනාගතයට

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිවේදීන්ගේ බහුතරය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තුන්වැනි වතාවටත් ජනාධිපතිවරණයට තරඟ වැදිය නොහැකි බව ප්‍රකාශ කරති.

මේ සම්බන්ධයෙන් අද සෙනසුරාදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් කැඳවා තිබූ විශේෂ රැස්වීමකදීයි එම අදහස් පළවුණේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනය ඉදිරියට මිස අතීතයට බල පාන්නේ නැති බවයි ජාත්‍යන්තර නීති විශාරදයකු වන, ඕස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්යවරයකු වන සූරී රත්නපාලගේ මතය වී තිබෙන්නේ.

ඔහු ශ්‍රී ලංකාවේ නීති පති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයකු ලෙසද කටයුතු කොට තිබේ.

ඔහුගේ මතය පිළිබදව අද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාකච්ඡා කළ අතර මෙහිදී බහුතරයක් ප්‍රකාශ කොට තිබෙන්නේ එම මතය නිවැරදි බවට.

Image copyright BASL

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය සංදේශයට පැවසුවේ මහාචාර්ය සූරී රත්නපාල පවසන ආකාරයට නීති අර්ථ නිරූපණය කිරීමේදී අනුගමනය කරන අර්ථ නිරූපන ආඥා පනත යටතේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයද අර්ථ නිරූපණය කළ යුතු බවයි.

අර්ථ නිරූපනය

එහි දැක්වෙන ආකාරයට කිසිදු නීතියක් අතීතයට බල පැවැත්වෙන ආකාරයට ක්‍රියාත්මක කළ නොහැකි බවයි ඔහු පැවසුවේ.

මේ අනුව 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයකුට දෙවතාවකට වඩා තරඟ කල හැකි බවට වෙනසක් කොට ඇති නමුත් එම නීතිය බල පැවැත්වෙන්නේ අනාගතයේ දී තරඟ කරන ජනාධිපතිවරුන්ට පමණක් බවට මහාචාර්ය සූරී රත්නපාල අර්ථ කථනය කරන බවයි, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය පැවසුවේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අද පැවති රැස්වීමේදී ගන්නා ලද තීරණ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු අදාළ බලධාරීන් දැනුවත් කරන බවයි, අපට සාකච්ඡාවේ තොරතුරු අනාවරණය කරමින් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ.

ශ‍්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ තම දෙවන ධුර කාලය අවසන්වීමට පෙර, තවත් වතාවක් සඳහා ජනාධිපතිවරණයකට යෑමට සූදානම් වන බවත් ජනාධිපතිවරණය ජනවාරි මාසයේ පැවැත්වෙන බවටත් වාර්තා පළ වෙමින් තිබෙන අවස්ථාවකදීයි මේ අදහස් පලවන්නේ.