ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ධීවර උද්ඝෝෂණයට ප්‍රහාරයක්

විදේශීය ධීවර යාත්‍රා ලාංකීය මුහුදේ අනවසරයෙන් මසුන් මැරීම නතර කිරීම, විදේශීය රටවල අත්අඩංගුවේ පසුවන ධීවරයන් සහ ධීවර යාත්‍රා නිදහස් කරගැනීමට කටයුතු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ධීවර අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වුන විරෝධතා ව්‍යාපාරයකට අමාත්‍යංශ භූමිය දෙසින් එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ධීවර සංවිධාන විරෝධය පළ කරති.

ශ්‍රී ලාංකික ධීවරයන් 79 ක් සහ යාත්‍රා 28 ක් විදේශ රටවල අත්අඩංගුවේ පසුවන බව පවසන උද්ඝෝෂකයෝ, යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ මත්ස්‍ය ආනයන තහනම් කිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසද බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

මාස ගණනාවක් මුළුල්ලේ සිය සැමියන් ඉන්දියාවේ අත්අඩංගුවේ සිටින බව කඳුළු සලමින් කියා සිටි ඇතැම් කාන්තාවෝ ඔවුන් වහාම ගෙන්වාදීම පිණිස කටයුතු කිරීම සඳහා ජනාධිපතිතුමාට සිය දුක පෙනේවායි ප්‍රාර්ථනා කළහ.

"මට චූටි දුවක් ඉන්නවා. අපි ගොඩක් දුක් විඳිනවා. ධීවරයන්ව බේරලා දෙන්න කියල තමයි අපි ඇමතිතුමාට කියන්නේ," යනුවෙන් එක් කාන්තාවක් හඬමින් කියා සිටියාය.

"දැනට මාස එකහමාරකට වැඩි කාලයක් වෙනවා දැන් අහුවෙලා. අපිට දැනගන්න හම්බවෙලා තියෙන්නේ චෙන්නායිවල ඉන්නවා කියල නමුත් මේ වෙනකම් අපේ ස්වාමිපුරුෂය කතාකරලා නෑ," යනුවෙන් තවත් කාන්තාවක් හඬමින් කියා සිටියාය.

යුරෝපා කොමිසම

ලාංකීය මුහුදු තීරයේ අනවසරයෙන් මසුන් මැරීම නවත්වන මෙන් යුරෝපා සංගමයද දිගින් දිගටම ඉල්ලා සිට ඇති බව පෙන්වා දුන් උද්ඝෝෂකයෙක්, සිය ඉල්ලීම් ඉටුවන තුරු උද්ඝෝෂණ නොනවත්වන බව සඳහන් කළේය.

යුරෝපා කොමිසම විසින් ඉදිරිපත් කොට තිබෙන සියලු නිර්දේශවලට සිය සහාය හිමි වන බවයි, උද්ඝෝෂණ ව්‍යාපාරයට එක්වී සිටි සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා සංගමයේ ලේකම්වරිය කියා සිටියේ.

එහෙත් මෙතෙක් කල් එම කොන්දේසි ධීවර අමාත්‍යාංශය තමන්ගෙන් සැඟවූ බව පවසන ඇය, සිය ගැටළු ඉදිරිපත් කිරීම පිණිස සාකච්ඡාවක් ලබා දෙන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියාය.

විරෝධතා ව්‍යාපාරය නිම කිරීමට සැරසෙද්දී අමාත්‍යංශය දෙසින් තමන්ට ප්‍රහාරයක් එල්ල වූ බව උද්ඝෝෂකයෝ පවසති.

යුරෝපා සංගමය ඉල්ලා තිබෙන පරිදි යාත්‍රා සුපරීක්ෂණ පද්ධතියක් පිහිටුවීමට සූදානම් බව ධීවර අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මීට දින කිහිපයකට ඉහතදී ධීවරයන්ට දැනුම් දුන් බවයි, අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නරේන්ද්‍ර රාජපක්ෂ සංදේශයට කියා සිටියේය.

අත්අඩංගුවේ පසුවන ධීවරයන් බේරා ගැනීම සඳහා අමාත්‍යවරයා හැකි සියලු දේ කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.