ජනාධිපතිවරණය ජනවාරියේ - කෙහෙළිය

Image caption 'දිනය දන්නවා, දැන් කියන්න බෑ'

මීළඟ ජනාධිපතිවරණය ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සංදේශයට කියා සිටියේය.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය දන්නා නමුත් එය මේ මොහොතේ ප්‍රකාශ කළ නොහැකි බව අමාත්‍යවරයා මහනුවරදී රැස්වීමක් අමතමින් ප්‍රකාශ කොට තිබුණි.

මැතිවරණයක් පැවැත්වෙන කාලයක ශුද්ධෝත්තම පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන බව ශ්‍රී ලංකා කතෝලික සභාව මීට පෙර සඳහන් කළ නමුත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව දැනටමත් තහවුරු කොට තිබෙන බවද අමාත්‍ය රඹුක්වැල්ල සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.

පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයේ කිසිදු වෙනසක් සිදු කොට නැති බව වතිකානයේ ප්‍රකාශකයෙක්ද සංදේශයට පැවසීය.

මේ අතර කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයන්ගේ උද්ඝෝෂණයකට පොලිසිය කළ වෙඩි තැබීමෙන් රොෂේන් චානක තරුණයා මියයාමේ වගකීම භාරගෙන පදවියෙන් ඉල්ලා අස් වූ මහින්ද බාලසූරිය හිටපු පොලිස්පතිවරයා නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් තනතුරට පත් කිරීම නීතිවේදී එකමුතුවේ සහ සිවිල් ක්‍රියාධරයන්ගේ දැඩි විවේචනයට ලක් වී තිබේ.

එහෙත් තමන් එහි කිසිදු වරදක් නොදකින බවත් අමාත්‍ය රඹුක්වැල්ල සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.

"ඒ සම්බන්ධව මේ වෙනකොට නඩුවක් ගොනු වෙලා තියෙනව. ඒකෙ එතුමා වැරදිකාරයෙක් කරලවත්, අපරාධකාරයෙක් කරලවත් නෑනේ?" යනුවෙන්ද ඔහු පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර