ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ෂෙල්වාසුග් කොන්ත්‍රාත්තුව: විදේශ ඇමතිතුමා 'බයවෙලා'

ශ්‍රී ලංකාවේ ජිනීවා තානාපතිවරයාගේ නිල නිවාසය අලුත්වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුව 2009 වසරේදී ෂෙල්වාසුග් සමාගමට ලබා දුන් අවස්ථාවේ විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරිය එහි තානාපති පදවියේ කටයුතු නොකළ බවට විදේශ අමාත්‍ය ජීඑල් පීරිස් කරන ප්‍රකාශය සත්‍යයෙන් තොර බව උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ අවධාරණය කරයි.

ෂෙල්වාසුග් සමාගම සහ එල්ටීටීඊ ය අතර සම්බන්ධයක් තිබූ බවට නැගෙන චෝදනාවේ ද සත්‍යයක් නැතැයි ස්විස් බලධාරීන් දැනුම් දී තිබෙන බවත් අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි.

එහෙත් අමාත්‍යවරයාගේ ඉහත කී ප්‍රකාශ අසත්‍ය බව 2012 දී සිදු කරන ලද ආණ්ඩුවේම විගණන වාර්තාවකින් හෙළිවන බව, එම වාර්තාව මුලින්ම හෙළි කළ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ සංදේශයට පැවසීය.

අමාත්‍යවරයාගේ නිවේදනයට අනුව සමාගමට අදාළ කොන්ත්‍රාත්තුව භාර දී තිබෙන්නේ 2009 නොවැම්බර් 05 වැනි දින වුවත්, එම කොන්ත්‍රාත්තුව ප්‍රදානය කොට තිබෙන්නේ නොවැම්බර් 19 වැනි දින බවයි විගණන වාර්තාවේ දැක්වෙන්නේ.

ඒ අනුව ක්ෂේණුකා සෙනෙවිරත්න තානාපති පදවිය භාරගැනීමට පෙර අදාල කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බවට අමාත්‍යවරයා කරන ප්‍රකාශය පිළිගත නොහැකි බව වසන්ත සමරසිංහ පවසයි.

"මට තියෙන සැකය ක්‍රිස් නෝනිස් මහත්තයාගේ කනට ආපු සජින් වාස් ගේ අත ජීඑල් පීරිස් මහත්තයාගේ කනට එන්න කලින් මේ ලියුම අත්සන කළා කියල තමයි මගේ අදහස," යනුවෙන් ඔහු සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

"2009 දොළොස්වෙනි මාසේ විසි වෙනිදා තමයි පලවෙනි ඇඩ්වාන්ස් පේමන්ට් එක කරලා තියෙන්නේ ආරක්ෂක බැඳුම්කරයක් නැතුව."

කොටි සංවිධානයට මුදල් සම්පාදනය කළ සමාගමේ ප්‍රධානී පීටී තුරෙයිරාජා පොලිස් අත්අඩංගුවට පත්වූවෙකු බවද විගණන වාර්තාවේ දැක්වේ.

කෙසේ නමුත් එල්ටීටීඊ ය සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බවට සහ මූල්‍ය අපචාර චෝදනා මත ස්විස් බලධාරීන් තමන් අත්අඩංගුවට ගත් බවට පළ වන වාර්තා අසත්‍ය බව ෂෙල්වාසුග් සමාගමේ හිමිකරු පීටී තුරෙයිරාජා සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය.

මේ චෝදනා පිළිබඳව විමසීම පිණිස නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියෝමාල් පෙරේරා සහ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.