පොලිස් ප්‍රහාරය ඕනෑකමින් කළ එකක් - සිසුන්

පාර්ලිමේන්තුව අසල ඊයේ, අඟහරුවාදා, උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූ විශ්ව විද්‍යාල සිසුන්ට පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ ආකාරයෙන් පැහැදිලිවුනේ, සිසුන්ට ඕනෑකමින්ම තුවාල සිදුකිරීම බව අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය පවසයි.

අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික පැවසුවේ දෙදෙනෙකු දණහිසින් පහළ අස්ථි බිඳීම හේතුවෙන් තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

විසි දෙනකුට වැඩි සංඛ්‍යාවක් තුවාල ලැබූ බව පැවසූ ඔහු දොළොස් දෙනකු නේවාසිකව ප්‍රතිකාර ලැබූ බව සඳහන් කළේය.

සුළු තුවාල ලැබූ තවත් පිරිසක් සිටින බවයි ඔහු ප්‍රකාශ කළේ.

අස්ථි බිඳුන සිසුන්

දණහිසින් පහළ අස්ථි බිඳුන සිසුන් දෙදෙනා එසේ තුවාල ලද්දේ කඳුළු ගැස් ප්‍රහාර එල්ල කිරීමේදී එම උණ්ඩ ඉහලට විදිනවා වෙනුවට ඍජුව සිසුන්ගේ සිරුරුවලට ඉලක්ක කිරීම නිසා බව අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික පැවසුවේය.

ලඟින්ම සිටි එම සිසුන් දෙදෙනාට කඳුලු ගෑස් විදින තුවක්කුවලින් වෙඩි තැබූ නිසා ඔවුන්ගේ අස්ථි බිඳී ඇති බවයි ඔහු පැවසුවේ.

ඊට අමතරව කඳුළු ගෑස් උණ්ඩ වැදී ඔලු පැලුන සහ පිටට තුවාල සිදුවූ සිසුන් ගණනාවක් සිටින බවත් ඔහු සඳහන් කළේය.

පොලීසිය පොලොවට සමාන්තරව එක දිගට රබර් උණ්ඩ වලින් වෙඩි තැබූ බවයි අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික තවදුරටත් පැවසුවේ.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ලබා ගැනීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සම්බන්ධ කර ගැනීමට සංදේශය ගත් උත්සාහය සාර්ථක නොවීය.