එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අධිකරණ නොතීසි

Image caption එල්ල වූ ගල් ප්‍රහාර වලින් ආර්.යෝගරාජන් මන්ත්‍රීවරයාගේ වාහනයකට සහ තවත් වාහන කිහිපයකට අලාභ හානි සිදු විය.

කොළඹ කොම්පඥඥ වීදියේ පිහිටි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පුහුණු මධ්‍යස්ථානය පරීක්ෂා කිරීමට ගිය එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හතර දෙනෙකුට සහ එම පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමයේ පිරිසකට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නොතීසි නිකුත් කරයි.

වරාය අධිකාරියේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම් ශාඛාව මගින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි අධිකරණය එම නියෝගය නිකුත් කර තිබෙන්නේ.

ඒ අනුව රවී කරුණානායක, අජිත් ,පි. පෙරේරා, ආර්.යෝගරාජන් සහ නලින් බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබන 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් අධිකරණය නියම කර තිබේ.

නිදහස් සේවක සංගමයේ වරාය ශාඛාව පොලිසියට පැමිණිල්ලක් කරමින් කියා තිබෙන්නේ කොම්පඥඥ වීදිය, මෝගන් පාරේ පිහිටි තම වෘත්තීය සංගම් භූමිය තුලට බලහත්කාරයෙන් ඇතුළු වූ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හතර දෙනෙකු සහ ජාතික සේවක සංගමයේ සාමාජිකයින් පිරිසක් එහි සිටි සේවකයින් පිරිසකට පහර දී ඇති බවයි.

ගල් ප්‍රහාර

එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කියා සිටින්නේ තමන්ගේ පරික්ෂාවට ලක් වු ස්ථානය නිදහස් සේවක සංගමයට අයත් භූමියක් නොව වරාය අධිකාරියේ පුහුණු පාසලක් බවයි.

එම ස්ථානය ආණ්ඩු පක්ෂයේ දේශපාලන කටයුතුවලට භාවිතා කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව අදාළ ස්ථානය පරීක්ෂා කිරීමට තමන් ගිය බවයි මන්ත්‍රීවරු කියා සිටින්නේ.

මෙම අවස්ථාවේ දී එල්ල වූ ගල් ප්‍රහාර වලින් ආර්.යෝගරාජන් මන්ත්‍රීවරයාගේ වාහනයකට සහ තවත් වාහන කිහිපයකට අලාභ හානි සිදු විය.

කෙසේ වෙතත් මීට අදාළව පොලිසිය පැමිණිලිකාර ජාතික සේවක සංගම් වරාය ශාඛාවේ සේවකයින්ගේ ප්‍රකාශද සටහන් කර ගැනීමෙන් අනතුරුවයි අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර