ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අයවැය ඡන්ද අල්ලසක් - විපක්ෂය

2015 වසර සදහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිකුරාදා දින ඉදිරිපත් කළ අයවැය ඉදිරි ජනාධිපතිවරණයේ දී ඡන්දය ලබාගැනීමට ජනතාවට ලබා දුන් ඡන්ද අල්ලසක් බව විපක්ෂය චෝදනා කරයි.

අයවැය මැතිවරණයක් ඉලක්ක කර ගත් එකක් බවට රජයේ ඇතැම් අමාත්‍යවරුන් පිළිගත් අතර ඔවුන් පැවසුවේ එමගින් ජනතාවට සහන රැසක් ලැබී ඇති බවයි.

ජනතා සහන

අයවැය මගින් ලබාදී ඇති ජනතා සහන හා පොරොන්දු අයවැය වාර්තාවේ වියදම් ලෙස නිසි ආකාරයෙන් සටහන් නොවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ඒවා ජනතාව රැවටීමට ලබා දුන් බොරු පොරොන්දු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පැවසුවේය.

ජනතාවගෙන් කෝටි 20,000 ක මුදලක් බදු ලෙස ලබා ගන්නා බව අයවැය වාර්තාවේ සඳහන් බව පවසන එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා එය ලබාගන්නා ආකාරය ගැන කිසිදු සඳහනක් අයවැය වාර්තාවේ නැති බවයි පැවසුවේ.

ජනතාවට ලබා දෙන බව පවසන සහන සඳහා මුදල් වෙන් කිරීමක් සිදුකර නොමැති බව පැවසූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හර්ෂ දී සිල්වා මෙම අයවැය මහින්ද රාජපක්ෂ රජයේ තවත් එක් ප්‍රෝඩාකාරී අයවැයක් ලෙසයි හඳුන්වා දෙන්නේ.

මැතිවරණ ලියවිල්ලක්

අද, සිකුරාදා ඉදිරිපත් කළ අයවැය, මැතිවරණ ලියවිල්ලක් ලෙසයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විග්‍රහ කළේ.

මෙම අයවැය මැතිවරණ අල්ලසක් බවට විපක්ෂය නගන චෝදනාව පිළිබඳ සංදේශය අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් විමසුවිට ඔහු පැවසූවේ තම ආණ්ඩුව මැතිවරණ පවත්වන්නේ ජයග්‍රහණය කිරීමට බවයි.

ආමාත්‍ය විමල් වීරවංස පැවසුවේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුවද ක්‍රියාත්මක වන්නේ මෙම යෝජනා බවයි.

ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිරිපත් කොට ඇති අයවැය වාර්තාවලින් වැඩිම ජනතා සහන ලබාදුන් අයවැය මෙය බව පැවසූ අමාත්‍ය රාජිත සේනාරත්න එය මැතිවරණයක් ඉලක්ක කර ගත් එකක් බව පිළිගත්තේය.