ඉන්දියාවෙන් ධර්මපාල සමරු මුද්දරයක්

Image copyright anagarikadharmapalastampindia

ඉන්දියාව අනගාරික ධර්මපාල තුමා වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කර ඇත.

මෙය ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කරන පියවරක් හැටියටයි, සමරු මුද්දරය නිකුත් කරමින් ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි විසින් විග්‍රහ කරන ලද්දේ.

අනගාරික ධර්මපාල තුමා වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කරනු ලැබීම මගින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වීය සම්බන්ධතා තවත් ශක්තිමත් වෙන බව කියා සිටි ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි, එම පියවර මගින් දෙරටේ ජනතාව තවත් සමීප වෙන බවයි කියා සිටියේ.

ඉන්දියාවේ තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුමෙන් සමරු මුද්දරය නිකුත් කරනු ලැබීම සිදු කෙරුණේ ජනාධිපති නිල නිවාස වන රාශ්ට්‍රපති මන්දිරයේ දී.

1864 සැප්තැම්බර් මාසයේ 17 වෙනි දින ශ්‍රී ලංකාවේ දී උපත ලද අනගාරික ධර්මපාල තුමා 1933 අප්‍රියෙල් මස 29 වෙනි දින අපවත් වූයේ ඉන්දියාවේ දී.

බුද්ධ ගයාව බේරා ගනිව්

බුද්ධ ගයාව අන්‍ය ආගමික ආධිපත්‍යයෙන් මුදා ගැනීමේ සටනක් ආරම්භ කළ අනගාරික ධර්මපාල තුමාගේ සටන් පාඨය වූයේ ‘බුද්ධ ගයාව බේරා ගනිව්’ යන්නයි.

ඉන්දියාවේ බෞද්ධ පුනර්ජීවනයට මග හෙළි කළ ධර්මපාල තුමා යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ ද බෞද්ධ ධර්ම ප්‍රචාරක මධ්‍යස්ථාන ආරම්භ කිරීමට අවශ්‍ය පදනම සකස් කළ නියමුවා ලෙසයි සැලකෙන්නේ.

ථෙරවාද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන අතර මුල් තැන හිමි කර ගනු ලබන ලන්ඩන් බෞද්ධ විහාරය 1926 වසරේ දී ආරම්භ කරන ලද්දේ අනගාරික ධර්මපාල තුමන් විසිනි.