ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හිමව් අරණින් හමා ආ ‘අමර ගී නද'

1920 දශකයේ අග භාගයේ මොරටුව, කොරලවැල්ල වෙත ඈත දියඹින් නිබඳ නැගීවිත් වෙරළ සිප ගන්නා සුදු සේලයක් වන් රැල්ලේ රිද්මයත්, බුරුත තේක්ක නැඳුන් නෙක දැවමුවා ගෘහ භාණ්ඩ මත මැවෙනා මල්ලියකම් මතු කරන නියන් පහරේ රිද්මයත්, ආත්ම කොට ගෙන ජනිත වූ වන්නකුවත්ත වඩුගේ ඇල්බට් පෙරේරා නම් වූ කුඩා ළදරුවා ‘අමරදේවයන්' නමින් හෙළ සංගීතයේ නිම්වළලු පුළුල් කරමින් සුභාවිත සිංහල සංගීතයේ මුදුන් මල්කඩ දක්වා පියමැන ආ දීර්ඝතර, තීර්ථ චාරිකාවේ පලමු උල්ලාසය මේ සමග දිගහැරේ.

සිංහල සංගීතයේ ශක්‍යතා මෙන්ම සීමාවන් පිළිබඳවද මනා ලෙස අධ්‍යයනය කරමින් උත්තරීතර භාරත රාගධාරී සංගීතයේ මහා සම්ප්‍රදායන් අපගේ දේශජ සංගීතය හා මුසු කරමින් අපගේ සම්ප්‍රදායක් ගොඩ නැංවීම සඳහා අමරදේවයන් කළ කැප කිරීම හේතුවෙන් හේ දේශ දේශාන්තර සම්භාවනාවට පාත්‍ර විය.

දශක හයකට වඩා වැඩි කාලයක් සංගීතය තම ආත්මය කොට ගනිමින් කිසිදු මහා සම්ප්‍රදායක ගැත්තෙකු නොවී අපේම හෙළ ගී ආරක් මතු කොට ගැනීම සඳහා දක්වන ලද දායකත්වය හේතුකොට ගෙන ඔහු ‘කොරලවැල්ලේ උපන් හෙළයේ මහා ඝාන්ධර්වයා' නම් විය.

කුඩා කල සිට අත රැඳුනු ජපන් මැන්ඩලීනය අසූහත්විය සපුරා සිටියද තවමත් ඔහු අත රැඳේ. ජපන් මැන්ඩලීනය හා අමරදේවයන් අතර ඇත්තේ අවියෝජනීය සබඳතාවයකි. 1951 වසරේ ජනතා දායකත්වයෙන් ජනතා ශිෂ්‍යත්වයක් මත උත්තර භාරතීය සංගීතයේ නිජබිම වූ භාත්කණ්ඩේ වෙත යැවුණු අමරදේවයන් ජනතා සන්තක වූයේ ඒ අයුරිනි.

එතැන්හි සිට මේ දක්වා ඔහු පසු කර ආ වනදුර්ග, ජලදුර්ග, ගිරිදුර්ග හා පංක දුර්ග පිළිබඳවත් අමරදේවයන්ගෙන් සිංහල සුභාවිත සංගීතයේ නිම් වළලු පුළුල් කිරීම සඳහා ලැබුණු අග්‍රගන්‍ය දායකත්වයත් ඉර පානෙන් රැස් දෝතක් ඔස්සේ ඉදිරි උල්ලාසවලින් විමසා බැලේ.