ආකෘති පත් සකසා නැහැ - එක්සත් ජාතීන්

Image copyright unmultimedia.org
Image caption එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාගේ ප්‍රකාශක රූපට් කොල්විල්

ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා පිළිබඳ පරීක්ෂණ පවත්වන මණ්ඩලයට සාක්ෂි ඉදිරිපත් කිරීම පිණිස කිසිදු ආකෘති පත්‍රයක් සකස් කර නැති බව එක්සත් ජාතීන් ප්‍රකාශ කරයි.

එවැනි ආකෘති පත් ළඟ තබා ගත් දෙමළ ජාතිකයෙකු කිලිනොච්චියේදී අත්අඩංගුවට ගත් බවට පොලිසිය කරන ප්‍රකාශය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාගේ ප්‍රකාශක රූපට් කොල්විල් සංදේශයට ඒ බව කියා සිටියේය.

කෙසේ නමුත් එසේ සාක්ෂි ලබා දීම පිණිස ඇතැම් සංවිධාන තමන්ගේම ආකෘති පත්‍ර සකස් කොට තිබෙන බව තමන් දන්නා බවත් එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාගේ ප්‍රකාශක රූපට් කොල්විල් වැඩි දුරටත් කියා සිටියේය.

ආකෘති පත් ළඟ තබා තබා ගත්තේ යැයි කියන කිලිනොච්චියේ පුනරීන් පළාතේ ඉරණේයිමාදුවාන් ගමෙහි පදිංචි සින්නතම්බි ක්‍රිෂ්ණරාජා නැමති පනස්හත් හැවිරිදි පුද්ගලයා පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය මගිනුයි අත්අඩංගුවට ගනු ලැබුණේ.

එල්ටීටීඊ සාමාජිකයෙකු බවට ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු සතුව තිබී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ආකෘති පත් තොගයක් සහ ජාතික හැඳුනුම්පත් දෙකක් හමු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පසුගිය ඉරිදා සංදේශයට කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර