ව්‍යවස්ථා සංශෝධනය අවිනිශ්චිතයි - රතන හිමි

ජනාධිපතිවරණයට ප්‍රථම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට හැකියාවක් නැති බව ව්‍යවස්ථා සංශෝධන යෝජනාව රැගෙන මුලින්ම මුණ ගැසුණ අවස්ථාවේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්ව මණ්ඩලය සමග පැවති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් දැරුවේ එම ස්ථාවරය ද කියා විමසු විට උන්වහන්සේ පැවසුවේ ඔවුන්ට සංයුක්ත අදහස් නො තිබුණු බවයි.

ඉහලම බලපෑමක්

ජනාධිපතිවරණයට පෙර ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒවිද යන්න සැක සහිත බව පවසන පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ කෙසේ වෙතත් ඉහලම බලපෑමක් යොදවා ව්‍යවස්ථා සංශෝධනය සිදු කරවා ගැනීමට තමන් උත්සාහ දරන බවයි තවදුරටත් ප්‍රකාශ කළේ.

සාකච්ඡා ඉදිරියටත් පවත්වා ගෙන යාම සඳහා පක්ෂ දෙක නියෝජනය කරමින් කමිටුවක් පත් කර ගැනීම හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්ව මණ්ඩලය සමග පැවති සාකච්ඡාවේ දී වෙනත් කිසිවක් සිදු නොවූ බවයි අතුරලියේ රතන හිමියන් පැවසුවේ.

ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන්ගෙන් පළවුණේ සාධනීය ප්‍රතිචාරයක් දැයි අසු ප්‍රශ්න පිළිතුරු දුන් උන්වහන්සේ පැවසුවේ ඔවුන්ට කිසිදු අදහසක් තිබුණු බවක් පෙනෙන්නට නොතිබුණු බවයි.

නමුත් මේ පිළිබඳව සාකච්ඡා පැවැත්විය යුතුයි යන නම්‍යශීලී ස්ථාවරයක ඔවුන් සිටින බව උන්වහන්සේ පැවසුවේය.

විකල්ප බලවේගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ විශාල බලපෑමක් ඇති වුවහොත් ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කළ හැකිය යන විශ්වාසය පල කළ උන්වහන්සේ තවදුරටත් තෙරපීමක් ඇති කළ යුතු බවයි පවසන්නේ.

අපේක්ෂා කරන ව්‍යවස්ථා සංශෝධනය සිදු කර ගැනීමට නොහැකි වුවහොත් විපක්ෂය සමඟ විකල්ප දේශපාලන බලවේගයක් සකස් කර ගැනීම සිය අරමුණ බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ කියා සිටිති