උදෑසනම පාසල් ගිය දරුවන් බේරිලා

Image copyright EPA

නාය යාමෙන් මිය ගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳව තවමත් ලැබෙමින් තිබෙන්නේ පරස්පර විරෝධී වාර්තා.

අනතුරෙන් දිවි බේරා ගැනීමට සමත් වී තිබෙන්නේ උදෑසනම පාසල් ගිය පාසල් දරුවන් සහ සේවය සඳහා නිවසින් බැහැර ගිය පිරිස් පමණි.

පාසල් දරුවන්

නාය යාම සිදුවන විට වේලාව උදෑසන 7.00 ත් 7.30 අතර වූ අතර ළමුන් පාසල් බලා පිටත්ව ගොසින්.

නාය යාමට ගොදුරුවූ ළමුන් පිරිසක් අතුරුදහන් වී ගොස් ඇති බවයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ශ්‍රී කාන්ත් පැවසුවේ.

“එක පාරටම ගසා ගෙන ගිහිල්ල තියෙන්නේ ඔක්කොම. මේක බලන්න ඇවිල්ල හිටිය ඉස්කෝලේ ළමයි වගේම අනිත් අයත්. දළු කඩන්න වගේම වැඩට යන තවත් අය මේ වෙලාවේ ඉඳල තියෙනවා,” යනුවෙනුයි ඔහු මේ ඛේදවාචකයට ගොදුරුවූවන් ගැන සඳහන් කළේ.

එක්වරම මහා හඬක් නගමින් කඩා වැටුණු පස් කන්දත් සමඟ අක්කර 10 ක පමණ බිම් ප්‍රමාණයක් නාය යාමට ලක්ව ඇති අතර සිද්ධිය දුටු අය පැවසුවේ වතු නිවාස තිබූ තැන් කිලෝ මීටර් දෙකක් පමණ පහලට ඇදී ගොස් ඇති බවයි.

ඇතැම් නිවාසවල සෙවිලි තහඩු සහ බිත්ති කොටස් පස් කඳු අතර දකින්නට පිළිවන් .

උස පස් කන්දක්

බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ අඩි 15 ක් පමණ උස පස් කන්දකින් වතු නිවාස යටවී ඇති බවයි.

මේ අතර අනතුරුදායක තත්වය හඳුනාගත් අවට නිවාසවල 290 දෙනකු කොස්ලන්ද දෙමළ මහා විද්‍යාලයේ කඳවුරක නවාතැන් ගෙන සිටින බව පැවසූ මාධ්‍යවේදී නවරත් කුමාර සඳහන් කළේ නාය ගිය ප්‍රදේශයේ සිට පාසල් ගිය දරුවන්ද එහි සිටින බවයි.

“මේ දරුවන්ට තම නිවාසත්, ඥාතීනුත් අහිමි වෙලා. පාසල් ගිය ළමුන්ට ආපසු යන්න බැරි තත්වයක් උදා වෙලා”

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නාය යාම දුටු අයෙක් සිද්ධිය විස්තර කලේ මෙසේයි.