ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කොස්ලන්ද: තවත් ජීවිත විනාශ නොවීමට 'පියවර ගන්නවා'

නායයාමේ තර්ජනයට මුහුණ දී සිටින කොස්ලන්ද අවට ගම්මානවල වැසියන්ගේ තවත් ජීවිත අහිමිවීම වැළැක්වීම පිණිස 'විශේෂ වැඩපිළිවෙලක්' සකස් කරන බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

කෙසේ නමුත් බදුල්ල ප්‍රදේශයේ පවතින දැඩි ඉඩම් හිඟය හේතුවෙන් මේ ජනතාවට ඉඩම් ලබාදීම දුෂ්කර තත්වයක් පවතින බවත් අමාත්‍යවරයා බීබීසී සංදේශයට පැවසීය.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ නායයාමේ බරපතල අනතුරක් පවතින කලාපයක් ලෙසින් නම් කොට තිබෙන කොස්ලන්ද අවට බෙරගල, හල්දුම්මුල්ල, කළුපහන, බත්ගොඩ සහ නාකැටිය ඇතුළු ගම්මාන ගණනාවක වෙසෙන තවත් සිය ගණනක ජීවිත අහිමි වීමේ අනතුරක් පවතින්නේ නොවේ දැයි සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී.

"මේක ඇත්තටම වතු සමාගම් විසින් කළ යුතු කාර්යයක්. අපේ අමාත්‍යාංශය කරන්නේ ඒ සඳහා නිර්දේශ ලබාදීම," යනුවෙන්ද අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේය.

'අඩි තිහක පස් කන්දක්'

"ඇත්තටම මේ වතුවලින් අපට තියෙනව බාධාවක්. ඉඩම් දෙන්නේ නැහැ සුදුසු තැන්වලින්. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා කැබිනට් පත්‍රිකාවක් යොමු කරලා මේ ඉඩම් පවරගෙන හරි මේ අයට ඉඩම් ලබාදීමේ කටයුත්ත ක්‍රියාත්මක කරන්න."

Image copyright Mahinda Amaraweera
Image caption 'නිශ්චිත තොරතුරු කියන්න බැරි හේතුවක් තියෙනව ඒක තමයි මේගොල්ලන්ගේ තොරතුරු තිබෙන ෆයිල් තිබෙන කාමරේත් නායයාමට ලක්වෙලා'

හල්දුම්මුල්ල කොස්ලන්ද වත්තේ මීරියබැද්දේ බදාදා උදෑසන හටගත් නායයාමෙන් සියයකට වැඩි පිරිසක් මිය යන්නට ඇතැයි සැක කෙරෙන බව පවසන අමාත්‍යවරයා, එම නිවාසවල 320 කට ආසන්න පිරිසක් ජීවත්වන්නට ඇතැයි සැලකෙන බවත් සඳහන් කළේය.

"තාම අපිට නිශ්චිත තොරතුරු කියන්න බැරි හේතුවක් තියෙනව ඒක තමයි මේගොල්ලන්ගේ තොරතුරු තිබෙන ෆයිල් තිබෙන කාමරේත් නායයාමට ලක්වෙලා," යනුවෙන්ද ඔහු පැවසීය.

බේරා ගැනීමේ සහ මළසිරුරු සොයා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් අඩි තිහක පමණ පස් කන්දක් ගොඩ දැමීමට සිදු වී තිබෙන බව පවසන අමාත්‍යවරයා එසේ පස් ඉවත් කරද්දී ඒ අසල තිබෙන තවත් කන්දක් නායයාමේ අනතුරක් මතු වී තිබෙන බවත් සඳහන් කළේය.

දෙමාපියන් අහිමිව අනාථව සිටින දරුවන්ගේ ශාරීරික සහ මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් ළමා සහ කාන්තා කාර්යාංශය සමඟ එක්ව වැඩපිළිවෙලක් සම්පාදනය කරන බවද අමාත්‍ය අමරවීර පැවසීය.

වතු නිවාස 64 ක් නායයාමට ලක් වී තිබෙන අතර, බේරා ගැනීමේ මෙහෙයුම්වලට 500 කට ආසන්න හමුදා භට පිරිසක්ද යොදවා තිබේ.

'මෘතශරීරාගාර පහසුකම් නෑ'

අනතුරින් මියගිය ජනතාවගේ මෘතදේහ තැන්පත් කිරීමට සිය රෝහලේ ප්‍රමාණවත් පහසුකම් නොමැති බව කොස්ලන්ද දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය අධිකාරී වෛද්‍ය අසේල එරන්ද මේ අතර සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.

"දැනට මෘත ශරීරාගාරයේ එකවර මරණ පරීක්ෂණ දෙකක් පමණයි පවත්වන්න පුළුවන්. ඒ නිසා දැනට අපි සූදානම් කරලා තියෙන්නේ ලැබෙන ලැබෙන ආකාරයට ඒ සැනින්ම මරණ පරීක්ෂණ අවසන් කරලා හඳුනා ගත්තොත් මෘතදේහයන් ඒ සැනින්ම ඥාතීන්ට භාරදෙන්න. හඳුනා නොගත්ත සිරුරු ඡායාරූප ගත කරලා රජයේ වියදමින් ආදාහනය කරන්න," යනුවෙන් වෛද්‍ය අසේල එරන්ද කියා සිටියේ සරෝජ් පතිරණ කළ විමසීමකට පිළිතුරු දෙමින්.

මළසිරුරු සොයාගැනීමට පමණක් තවත් දින කිහිපයක් ගතවනු ඇති බව පවසන වෛද්‍ය එරන්ද, සියලු මෙහෙයුම් නිමාවීමට තවත් සති කිහිපයක් ගතවනු ඇති බවත් සඳහන් කළේය.

කිසියම් ලෙසකින් අනතුරින් දිවි බේරාගත් පුද්ගලයන් හමුවුවහොත් ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිණිස සිය කාර්ය මණ්ඩලය සූදානම්ව සිටින බව දියතලාව රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය රංජිත් අමරකෝන් මේ අතර සංදේශයට පැවසීය.