මීරියබැද්ද ගම වෙනත් තැනකට

කොස්ලන්ද මීරියබැද්ද වත්තේ ඊයේ විසිනව වෙනිදා සිදු වූ මහා නාය යෑමෙන් අතුරුදහන්ව ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව නිශ්චිතව ගණනය කිරීමට බලධාරීන් තවමත් සමත් වී නැති බවයි පෙනී යන්නේ.

මේ දක්වා හමු වී ඇති මළ සිරුරු සංඛ්‍යාව සම්බන්ධයෙන් ද පරස්පර සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කෙරෙයි.පුද්ගලයන් දහ දෙනෙකුගේ මළ සිරුරු හමු වී ඇති බවත් තවත් තුන්සියයක් පමණ ජනයාට සිදු වූ දෙයක් දැන ගැනීමට නොමැති බවත් ආරම්භයේ දී ප්‍රකාශ කෙරුණි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිදු වී ඇති හානිය දැක බලා ගැනීමට අද (30) පෙරවරුවේ ගුවනින් එහි ගිය අවස්ථාවේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක සඳහන් කළේ අතුරුදහන්වූවන් ගේ ගණන 255ත් 192ත් අතර විය හැකි බවයි.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (30) පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් මෙම නායයෑමෙන් පුද්ගලයන් 192නෙක් අතුරුදහන් වී ඇති බවයි කියා සිටියේ.

අනතුර සිදු වූ වන අවස්ථාවේ නිවාසවලින් බැහැරව සිටි පුද්ගලයන් සම්බන්ධව තොරතුරු ලැබීමත් සමඟ අතුරුදහන් වී යයි ඇස්තමේන්තු කළ සංඛ්‍යාවේ පහත වැටීමක් සිදු වූ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

හානියට පත් ලයින් කාමර සහ නිවාසවල පදිංචි වී සිටි පාසල් ළමයින් 75ක් ආරක්ෂිත ව සිටින අතර නායයෑමට ලක් වූ කොටසේ පුද්ගලයන් 330ක් ජිවත් වූ බව මීරියබැද්ද ග්‍රාම නිලධාරිනී එච්.එම්. මාලනී ප්‍රකාශ කළාය.

විනාශ වූ නිවාස සම්බන්ධයෙන් ද එකිනෙකට පරස්පර සංඛ්‍යා ලේඛනයි දක්නට ලැබෙන්නේ.

ලයින් කාමර හතක නිවාස 64ක් විනාශ වූ බව පළමු වාර්තාවන්හි දැක්වුනත් පසුව නිවේදනය කෙරුණේ නිවාස 150ක් පමණ විනාශ වී ඇති බවයි.

හින්දු කෝවිලක්, වෙළඳසැල් දෙකක්, නිල නිවාස තුනක් ද ඒ අතර විය. නිවැසියන්ගේ ගව, එළු සහ කුකුල් වැනි වාණිජ සතුන් රැසක් ද නායයෑමට ගොදුරු වී ඇත.

ගම වෙනත් තැනකට

මෙම විනාශය සියැසින් දැක බලා ගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මීරියබැද්ද ගම්මානය වහාම වෙනත් ස්ථානයක ස්ථාපිත කරන ලෙස නිලධාරීන්ට නියෝග කළේය.

නව ගමක් ඉදි කිරීමට අවශ්‍ය ඉඩම් කොස්ලන්ද වත්තේ පාලකයන් සමඟ සාකච්ඡා කර ලබාගන්නා ලෙසත් ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

නායයෑම සිදු වූ ප්‍රදේශය අවට නිවාස පනස් හතක පදිංචි පුද්ගලයන් සහ අවතැන් සිටින පාසල් ළමුන් ඇතුළත් 592 ක කණ්ඩායමක් කඳවුරු දෙකක රඳවනු ලැබ සිටිති.

Image copyright president.gov.lk

කොස්ලන්ද ‘ශ්‍රී ගනේෂා’ විද්‍යාලයේ රඳවා සිටින අවතැන් ජනතාව ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

අතුරුදහන්වූවන් සෙවීමේ කටයුතු අද(30) පෙරවරුවේ යළිත් ආරම්භ කෙරුණ අතර ඒ සඳහා ‘බැකෝ’ යන්ත්‍ර පහක් යොදා තිබෙනු දක්නට ලැබුණි.

නායයෑම ආරම්භ වූ තැනින් ගලා එන මහා ජල පහරත් වරින්වර කඩා හැලෙන පස් කඳු ආදියත් හේතුවෙන් පිරික්සුම් කටයුතු සිදු වෙන්නේ ඉතා සෙමිනි.

පිරික්සුමට බාධා

මෙම ඛේදවාචකය දැක බලා ගැනීමට විවිධ ප්‍රදේශවලින් විශාල වශයෙන් ජනයා පැමිණීම පිරික්සුම් කටයුතුවලට මහත් බාධාවක් වී ඇත.

ත්‍රිවිධ හමුදාවේ පන්සියයක් පමණ භටයන් ද ,පොලිසිය, ප්‍රදේශවාසීන්, අතුරුදහන්වූ වන්ගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් පුද්ගලයන් සෙවීමේ කටයුතුවලට එක් ව සිටිති.

මෙම විපතට ගොදුරු වූවන්ගෙන් වැඩි දෙනා අනියම් කම්කරුවන් ලෙස රැකියාවන්හි නිරත වූවන් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

විපතත් සමඟ කොස්ලන්ද සහ අවට ප්‍රදේශයේ ජනතාව බලවත් කම්පාවට පත් ව සිටිති.

අනතුරින් මරණයට පත් පුද්ගලයන්ගේ සිරුරු භාර ගැනීමට ඥාතීන් සිටී නම් ඒවා ඔවුන්ට බාර දෙන බවත් එසේ නොමැතිවුවහොත් රජයේ වියදමින් ඒවා මිහිදන් කරන බවයි රජය පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර