අවතැන් ජනයාගෙන් වතු බලධාරීන්ට චෝදනා

Image caption නායයෑමේ දී දිවි බේරුණ දරුවන් කඳවුරක

මීරියබැද්ද නායයෑම් වලින් අවතැන්ව කඳවුරු වල ජීවත් වෙන ජනතාව ඔවුන්ගේ අනාගතය සම්බන්ධයෙන් මැසිවිලි පළ කරති.

ප්‍රාදේශීය මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා මීරියබැද්ද ප්‍රදේශයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව බීබීසී සංදේශයට ප්‍රකාශ කළේ, වතු හිමියන් විසින් ඉක්මනින් කඩිනම් පියවර ගනු නො ලැබීම සම්බන්ධයෙන් අවතැන් ජනතාව වතු බලධාරීන් සමඟ බහින්බස් වීම් පවා දක්නට ලැබුණ බවයි.

වතු බලධාරීන් ඔවුන්ගේ පොරොන්දු ඉටු නොකරන බවට සහ කම්කරු ජීවිත ගැන ඔවුන් සැලකිල්ලක් නොදක්වන බවට අවතැන් ජනය චෝදනා කරන බවයි, මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා පවසන්නේ.

තමන්ට අලුතින් දීමට යන්නේත් කලින් මෙන් අනාරක්ෂිත ස්ථාන බව වතු කම්කරුවන් පෙන්වා දෙන බවයි මාධ්‍යවේදියා සඳහන් කළේ.

මේ අතර තවත් වතු කීපයක සිදු විය හැකි නායයෑම් ගැන අදහස් පළ වීමෙන් කම්කරුවන් නොසංසුන් වී සිටින අතර නිලධාරීන් එම ජනතාව සංසුන් කිරීමේ ප්‍රයත්නයක නිරත වී සිටි බවත් ලසන්ත ද සිල්වා වාර්තා කරයි.

ළමුන්ගේ ඉරණම

බීබීසී දෙමළ සේවයේ වාර්තාකරු පොන්නයියා මානික්කවාසගම් සෙනසුරාදා (01) අවතැන් කඳවුරුගත ළමුන්ගේ තත්වය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එම සංචාරයෙන් අනතුරුව බීබීසී මාධ්‍යවේදියා සංදේශයට ප්‍රකාශ කළේ, ළමුන් සමඟ සාකච්ඡා කිරීමට තමාට නිලධාරීන් ඉඩ නොදුන් බවයි.

‘පාසල්වල පවත්වා ගෙන යන කඳවුරුවල ළමයි විශාල සංඛ්‍යාවක් සිටියා. නායයෑමේ දී දෙමව්පියන් අහිමි වූ ළමයි අනිකුත් ළමයින් සමඟයි සිටියේ. මම එහි සිටින විට ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ මෙහෙයුමෙන් එම ළමුන් සඳහා මානසික සහ සමාජ ක්‍රියාකාරිත්ව වැඩ සටහනක් ආරම්භ කරන්නට කටයුතු කෙරෙමින් තිබුණා’ මාධ්‍යවේදී පොන්නයියා මානික්කවාසගම් පවසයි.

දුක තැවරුණ මුහුණින්

අවතැන් ජනයාට අවශ්‍ය සියලු පහසුකම් රජයෙන් ලැබුනත් එම ජනතාව බලවත් සංවේගයෙන් පසු වෙනු දක්නට ලැබුණ බවයි මාධ්‍යවේදියා පවසන්නේ.

‘එම ජනයාට සන්තෝෂ වෙන්න බැහැ. දුකිනුයි කාලය ගෙවන්නේ. තමන්ගේ අනාගතය කුමක් ද? ඊ ලඟට වෙන්නේ කුමක් ද? මේ වගේ ප්‍රශ්න ගැන කල්පනා කරමිනුයි ඔවුන් ඉන්නේ’ මාධ්‍යවේදී පොන්නයියා මානික්කවාසගම් කඳවුරු ගත ජනයාගේ තත්වය විස්තර කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර