ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නිවී පහන් වී ලය සැනසෙන ‘අමර ස්වරය'

පණ්ඩිත් අමරදේවයන් හෙල සංගීතයට තිලිණ කළ බොදු බැති ගී සමූහය සිංහල සංගීත වංශ කතාවේ තවත් අමරණීය පරිච්ඡේදයකි.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් විරචිත ‘පාතුරෝහෝසි' බුදු ගුණ ගී භාවනාවෙන් ඇරඹි අමරදේවයන්ගේ බොදු බැති ගී සමූහය සිහිපත් කරන්නේ අපගේ බෞද්ධ ආරාම හා විහාරස්ථානවල අලුයම් තේවාව හා සැන්දෑ තේවාවේදී ගැයෙන ආරාම ගායනා ශෛලියයි.

ධර්මධර විනයධර සුපේක්ෂාශීලී වැඩිහිටි මහතෙර නමකගේ තැන්පත් සන්සුන් ගැඹුරු කටහඬින් ගැයෙන සූවිසි විවරණ හෝ මෛත්‍රී වර්ණනාව අමරදේවයන්ගේ අමරස්වරය සවනත ගැටෙන සඳ අපට සිහිපත් වේ.

ඒ අමරස්වරය අසන ශ්‍රාවකයෝ නීවී පහන් වී ළය සැනසෙන වාර අපමනය.

එකල ශ්‍රී ලංකාවේ එකම ගුවන් විදුලි නාලිකාව වූ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ විකාශන නිමාවේදී විසුරුවා හැරි අමරස්වරයෙන් ගැයෙන ‘සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා ' ගාථා ඛණ්ඩය තවමත් හැත්තෑව දශකයේ අග භාගයේ සිට අසූව දශකය සිසාරා විසි එක්වන සියවසේ ජීවත් වන අපගේ සවන් පත් තුල නිම්නාද වේ.

එවන් වූ අමරස්වරයේ ඇත්තේ ධර්මයෙහි කෙළ පැමිණි මහතෙර නමකගේ සමාධිය හා සංවරයයි, තැන්පත් බව හා ගැඹුරයි.

යථාරූපී සුභාවිත ගීතය නිර්මාණය වන්නේ සංගීත හා සාහිත සුසංයෝජනයෙන් බව පණ්ඩිත් අමරදේවයන් ඇදහූ සිද්ධාන්තයකි.

අමර තනුවක් නිර්මාණය වීමට සංගීතඥයා කාව්‍ය රසාස්වාදනය මනා ලෙස සේවනය කළ පුද්ගලයෙකු විය යුතු යැයි හේ ඇදහීය.

‘ශාන්ත මේ රෑ යාමේ', 'වඳිමු සුගත ශාක්‍ය සිංහ' ආදී වූ අමරතනුවලින් පණ්ඩිත් පද්ම ශ්‍රී අමරදේවයන් විශද කළේ එකී අමර ගුණයයි.

සිංහල - ඉංග්‍රීසි භාෂාවන්හි මනා අවබෝධයත් කාව්‍යාලංකාර ඡන්දස් ශාස්ත්‍රයෙහි ගැඹුරු පරිචයත් පෙර'පර දෙදිග සාගරයක් බදු වූ ශාස්ත්‍රීය සංගීතයේ හසළ දැනුමත් එක පුද්ගලයෙකුට පිහිටන විට හේ නොමැරෙන්නේ වෙයි. එහෙයින් අපි ඔහුට අමරදේවයන් කියමු.