ෆේස් බුක් මාරයෙක් ද?

Image copyright Reuters

ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවිය මේ වන විට ශ්‍රී ලංකාව තුළ ගම් දනව් සිසාරා ව්‍යාප්ත වී තිබේ.

මේ තුළින් යහපත හා අයහපත සමාජයට දායාද වී ඇති බවයි බොහෝ පිරිස්වල මතය වන්නේ.

ෆේස් බුක් ආශ්‍රිතව හට ගත් විවිධ සබඳතා හේත්තුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව තුළ වාර්තා වී ඇති සිය දිවි හානිකර ගැනීම් ගණන පහක් බව බලධාරීහූ පවසති. ෆේස් බුක් එසේත් නොමැති නම් මුහුණු පොත ලෙස හැදින්වෙන මෙම ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවිය භාවිතයේ දී සමාජය අවධානයෙන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුර ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත පවසයි.

Image caption ජ්‍යෙෂ්ඨ තොරතුර ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත

ඇතැම් ෆේස් බුක් සබඳතා සිය දිවි හානිකර ගැනීම් දක්වා ව්‍යාප්ත වී ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳ සංදේශය වෙනුවෙන් ගවේෂණයක නිරත වූ ප්‍රමිලා වීරසිංහ හට රොෂාන් චන්ද්‍රගුප්ත මෙම කරුණු පැහැදිලි කළේය.

ෆේස් බුක් ගිණුමක් ආරම්භ කිරීමේදී එහි නීති හා කොන්දේසි හඳුනා නොගැනීම ගැටලු රැසකට මූලික වන බව ඔහු පෙන්වා දෙයි.

ෆේස් බුක් මගින් මිතුරු ආරාධනාවක් ලැබුණු විගස එම පුද්ගලයා තම මිතුරකු ලෙස තහවුරු නො කර අදාළ පුද්ගලයා පිළිබඳ විමසිලිමත් වී පසුව ඔහු හෝ ඇය පිළිබඳ මනාව තහවුරු වූ පසු මිතුරකු ලෙස තහවුරු කළ යුතු බව ඔහු සංදේශයට ප්‍රකාශ කෙළේය.

එමගින් කරදර රැසක් අවම කර ගත හැකි බව හෙතෙම පෙන්වා දෙයි.

පළමු දිවි නසා ගැනීම

ෆේස් බුක් ආශ්‍රිතව හට ගත් අනියම් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ නොවැම්බර් මස දී කාන්තාවක් සිය දිවි හානිකර ගත්තා ය. ඒ ගෙල වැළලා ගැනීමෙන්. ෆේස් බුක් ආශ්‍රිතව ශ්‍රී ලංකාව තුළ සිදු වූ පළමු සිය දිවි හානිකර ගැනීම එය බව බලධාරීහූ පවසති.

සිදුවීම වාර්තා වූයේ පාදුක්ක ප්‍රදේශයෙන්.

සිය නම හෙළි නොකළ පොලිස් නිලධාරියකු සඳහන් කළේ කුඩා දියණියකගේ ද මවක් වූ අදාළ කාන්තාව ෆේස් බුක් හරහා හඳුනා ගත් තරුණයකු සමග ඇති කර ගත් අනියම් සබඳතාවක් මෙම සිය දිවි හානිකර ගැනීමට හේතු වූ බවයි.

මේ අතර ෆේස් බුක් පිළිබඳ සුබවාදී මෙන්ම අසුබවාදි මත දරන්නන් ද මෙම ගවේෂණයේ දී හමු විය.

Image caption සමාජ විද්‍යාඥ ආචාර්ය ඩබ්ලිව්.එස්. විජේකෝන්

ඇතමෙක් මෙය අත්‍යවශ්‍ය ම බව පැවසූ අතර ඇතැම් පිරිස් ප්‍රකාශ කළේ සීමා සහිතව ෆේස් බුක් පරිහරණය යහපත් බවයි.

සමාජ විද්‍යාත්මක ඇසින්

ෆේස් බුක් ආශ්‍රිතව හට ගත් සබඳතා හේතුවෙන් සිය දිවි හානිකර ගත් පුද්ගලයකුට අයත් පවුලක සාමාජිකයකු සංදේශයට හමු විය.

සිය අනන්‍යතාව හෙළි නොකළ ඔහු කියා සිටියේ හැකි තාක් දුරට යහපත් දේ කෙරෙහි පමණක් ෆේස් බුක් භාවිත කළ යුතු බවයි.

මේ අතර වාර්තා වී ඇති සිය දිවි නසා ගැනීම් හා ෆේස් බුක් අතර සැබැවින්ම සබඳතාවක් තිබේද, නැද්ද යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම වැදගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අංශයේ කථිකාචාර්ය සමාජ විද්‍යාඥ ඩබ්ලිව්.එස්. විජේකෝන් පවසයි.

අන්තර් පුද්ගල සබඳතා බිද වැටීමට එක් හේතුවක් ලෙස ෆේස් බුක් ජාල වෙබ් අඩවිය පෙන්වා දිය හැකි බව ඔහුගේ මතය වී තිබේ.

සමාජ විද්‍යාත්මකව මෙම කරුණු පිළිබඳ අධ්‍යයනය කිරීම වැදගත් බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර