ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

උතුරේ දෙමළ නායකයන්ට වතුකරයේ දෙමළ විරෝධය

කොස්ලන්දේ නායයෑමට ලක් වූ ප්‍රදේශයේ උතුරේ දෙමළ නායකයන් කළ සංචාරය පිළිබඳව වතුකරයේ දෙමළ නායකයෝ අප්‍රසාදය පළ කරති.

නායයෑමට ගොදුරු වී ඉඩම් අහිමි වූවන්ට රජයෙන් ඉඩම් නොලැබෙන්නේ නම් ඔවුන්ට උතුරෙන් ඉඩම් ලබා දීමට තමා සුදානම් බව උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයා ප්‍රකාශ කර තිබුණි.

ඊට විරෝධය පාමින් ඌව පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොන්ඩමාන් කියා සිටියේ තම ප්‍රදේශයේ ජනතාව රැක බලා ගැනීමට තමන්ට හැකියාව ඇති අතර දෙමළ ජාතික සන්ධානය උතුරේ ජනතාවට සේවය කිරීම වඩා හොඳ බවයි.

Image caption ඌව පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොන්ඩමාන්

‘ඔවුන්ගේ සැලකිල්ල අපි අගය කරනවා. ඒත් කාගෙන්වත් ඉඩම් ඉල්ලා සිටින්නට අපිට අවශ්‍යතාවක් නැහැ. අපි ඉන්නේ අපිට අයිති ඉඩම් වල. රජය අපිට උදව් කරනවා. අපිට අපි ගැන බලා ගන්න පුළුවන්. ඔවුන් ඔවුන් ගේ ජනතාව රැක බලා ගන්න එක හොඳයි.’ සෙන්දිල් තොන්ඩමාන් පැවසීය.

‘බලහත්කාරයෙන්’

නමුත් උතුරේ මහ ඇමතිවරයා ඌව සංචාරයේදී කියා සිටියේ ‘බලහත්කාරයෙන්’ යමක් කිරීමට තමාට අවශ්‍යතාවක් නොමැති බවයි.

‘ඒ අයට උවමනාවක් තියෙනව නම් අපිට ඕන උදව්වක් කරන්න පුළුවන්. බලහත්කාරයෙන් කිසි දෙයක් කරන්න අපි මෙහෙ ආවේ නැහැ. මෙහෙම දෙයක් සිදු වුනාම අපේ වේදනාව පෙන්වන්නයි අපි ආවේ.’ උතුරේ මහ ඇමති සී වී විග්නේශ්වරන් වාර්තාකරුවන්ට පැවසීය.

Image copyright AFP
Image caption මළ සිරුරු සොයා සිදු කෙරෙන කැනීම්

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් උතුරේ මහ ඇමතිවරයාත් අතර පවතින මතභේද පිළිබඳවද ප්‍රශ්ණ කිරීමට මාධ්‍යවේදීහු අමතක නොකළහ.

මෑතකදී ජනාධිපතිවරයා උතුරට පැමිණි අවස්ථාවේ එම කටයුතු වලට සහයෝගය දීම සඳහා නොපැමිණියේ මන්දැයි එක් මාධ්‍යවේදියෙක් විග්නේශ්වරන් මහ ඇමතිවරයාගෙන් විමසා සිටියේය.

‘ඒක ගිහිල්ල ජනාධිපතිතුමාගෙන් අහන්න. මගේ මිනිස්සු එපා කියද්දී මම දිවුරුම් දුන්නේ ජනාධිපතිතුමා ඉදිරියේ. එයත් එක්ක මගේ කිසිම අමනාපයක් නැහැ. මට කියන්න තියෙන්නේ අපිට කරනවයි කියපු කිසි දෙයක් අද වෙනකල් කරලා නැහැ. එච්චරයි.’ විග්නේශ්වරන් මහ ඇමතිවරයා පිළිතුරු දුන්නේය.

මේ අතරතුර ඌව ප්‍රදේශයේ සිටින මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා කියා සිටියේ නාය ගිය කඳු බෑවුමේ මතු වූ ජල පාරක් නිසා මළ සිරුරු සොයා සිදු කෙරෙන කැනීම් කටයුතු තාවකාලිකව නතර කර ඇති බවයි.