නැගෙනහිර මුස්ලිම් කලාප නැහැ

Image copyright W Rajapaksa AFP

අම්පාර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව වාසය කරන මැතිවරණ කොට්ඨාශ වෙනම පරිපාලන කලාපයක් ලෙසින් ස්ථාපිත කළ යුතු බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය විසින් කරන ලද බව පැවසෙන ඉල්ලීම රජය අනුමත නොකරන බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න කියා සිටියි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ විවාදය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී විජේදාස රාජපක්ෂ කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

මුස්ලිම් කොන්ග්‍රසය නැගෙනහිරට වෙනම පරිපාලන කලාපයක් ඉල්ලා සිටීම බරපතල ප්‍රශ්ණයක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය. මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ සඳුදා ඩේලි මිරර් පුවත්පතේ පළවූ වාර්තාවක් උපුටා දක්වමින්.

සිංහල ජනතාව සහ මුස්ලිම් ජනතාව වෙන් කර තැබීමට උත්සාහයක නියැලී සිටින බවටද විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මුස්ලිම් කොන්ග්‍රසයට චෝදනා කළේය.

බොදු බල සේනාව වැනි සංවිධාන වැරදි කළ සෑම අවස්ථාවකම එක්සත් ජාතික පක්ෂය ඒවා පෙන්වා දුන් බව පැවසූ විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ඔවුන්ගේ පුද්ගලික වරප්‍රසාද වෙනුවෙන් පෙනි සිටියදී එක්සත් ජාතික පක්ෂය සැබෑ ලෙසම මුස්ලිම් ජනතාව වෙනුවෙන් පෙනී සිටි බව සඳහන් කළේය.

එක් එක් අයට අවශ්‍ය පරිදි කලාප ලබා දීමට රජය සුදානම් නොවන බව විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය දිමු ජයරත්න කියා සිටියේය.

සියයට අනූ නමයක ජනතාවට අවශ්‍ය වන්නේ ඒකීය ලංකාවක් තුළ ශ්‍රී ලාංකිකයන් හැටියට ජීවත්වීමට බවද අගමැතිවරයා පැවසීය.