ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ෆොන්සේකාට රට යන වරම්

විදේශ ගත වීම තහනම් කරනු ලැබ ඇති හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා සහ ඔහුගේ ලේකම් සේනක ද සිල්වාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගපූර් කරා යාමට අවසර දෙන මෙන් කළ ඉල්ලීමකට කොළඹ මහාධිකරණයේ අනුමැතිය ලැබුණි.

අධිකරණය ඉදිරියේ නඩු පවරනු ලැබීමෙන් පසු හිටපු හමුදාපතිවරයාට විදේශ ගත වීම සඳහා අවසර ලැබෙන පළමු අවස්ථාව මෙයයි .

යුද හමුදාවෙන් පළා ගිය සෙබළුන් කණ්ඩායමක් පසුගිය ජනාධිපතිවරණය සමයේ සිය සේවයේ තබා ගත් බවට චෝදනා කරමින් හිටපු යුද හමුදාපතිවරයාට සහ ඔහුගේ ලේකම් සේනක ද සිල්වාට එරෙහිව

පවරා තිබුණ නඩුවක් සම්බන්ධයෙන් ඇප නියම කිරිමේ දී ඔවුන්ගේ විදේශ ගමන් බලපත් අධිකරණය භාරයට ගෙනයි තිබුණේ.

අද ,බදාදා අදාළ නඩුව කැඳ වූ අවස්ථාවේ ජනරාල් සරත් ෆොන්සේකාට සහ සේනක ද සිල්වාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශ ගත වීමට අවසර ලබා දෙන ලෙස විත්තියේ නීතිවේදීහු මහාධිකරණයෙන් ඉල්ලා සිටියහ.

සුමාන දෙකක කාලයකට

එම ඉල්ලීම සලකා බැලූ අධිකරණය ජනරාල් සරත් ෆොන්සේකාට සහ ඔහුගේ ලේකම්වරයාට දෙසතියක කාලයක් සඳහා විදේශගත වීමට අවසර ලැබෙන බවයි කියා සිටියේ.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සංදේශයට ප්‍රකාශයක් කරමින්, ජනරාල් සරත් ෆොන්සේකා සහ ඔහුගේ ලේකම් සේනක ද සිල්වා මාසයක කාලයකට විදේශගත වීමට අවසර ඉල්ලූ නමුත් ඔවුන්ට ලැබුණේ සුමාන දෙකක කාලයක් පමණක් බවත් ඒ සඳහා රුපියල් දශ ලක්ෂයක ඇප මුදලක් තැබීමට සිදු වූ බවත් සඳහන් කළේය.

නඩු විභාගය අවසන් වීමෙන් පසුව මාධ්‍යවේදීන්ට අදහස් දැක් වූ හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා කියා සිටියේ, පසුගිය ජනාධිපතිවරණය අවසන් වීමෙන් අනතුරුව තමාගෙන් පළි ගැනීම සඳහා පවරා ඇති නඩු තවමත් නිම වී බවයි.

‘පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව පැවරූ නඩු තවමත් තිබෙනවා. ඒවායේ අවසානයක් නැහැ. ඊළඟ ජනාධිපතිවරණයෙන් පසුවත් අපට හිර බත් කන්න වෙයි කියලයි පෙනෙන්නේ. ‘අයවැය

නත්තල් සීයා’ ජනතාවට ගොඩක් තෑගි දෙන බව කියා තිබෙනවා. එහෙත් ඒවා ජනතාවට නො ලැබෙන බව සහතිකයි’ ජනරාල් සරත් ෆොන්සේකා පැවසීය