ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මීගමුවේ නිලනොලත් ඇදිරි නීතියක්

ධීවරයන් දෙපිරිසක් අතර ඊයේ රාත්‍රියේ ඇති වූ නොසංසුන් තත්වයක් හේතුවෙන් මීගමුවේ ප්‍රදේශ කිහිපයක නිල නොලත් ඇදිරි නීතියක් ක්‍රියාත්මක කෙරෙමින් පවතී.

ඊයේ, බදාදා රාත්‍රියේ සහ අද (06) උදෑසන ඇති වූ ඉහත කී ගැටුම් නිසා ධීවරයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර බෝට්ටු කිහිපයකට හා වාහන කීපයකට ද දැඩි අලාභ හානි සිදු කොට ඇත.

ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා මීගමුව ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යොදවා තිබේ.

මීගමුව ප්‍රදේශයේ කරවල වෙළෙන්දන් වෙනත් ප්‍රදේශවලින් මාළු මිල දී ගෙන කරවල නිෂ්පාදනය කිරීම මුල් කර ගෙන ඇති වූ ප්‍රශ්නයක් ගැටුමට හේතු වී ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියි.

දකුණු පළාතෙන් මාළු මීගමුවට ගෙන ඒම වැළැක්විය යුතු බව පවසමින් මීගමුවේ පාරම්පරික ධීවරයන් දින කිහිපයක සිට විරෝධතාවයක් ගෙන ගිය බවයි, එහි සිටින බීබීසී වාර්තාකරු ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න පවසන්නේ.

මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන බවට ප්‍රදේශයේ දේශපාලන බලධාරීන් විසින් දෙන ලද පොරොන්දුවක් මත ධීවරයන් සිය විරෝධතා ව්‍යාපාරය අවසන් කර තිබුණ නමුත් බදාදා රාත්‍රියේ වෙනත් ප්‍රදේශයකින් මාළු රැගත් ලොරියක් කුට්ටි දූව වෙරළ තීරයට ඇතුළු වීමත් සමගයි නැවත ගැටුම් හට ගෙන තිබෙන්නේ.