ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මාලක නඩුව: ‘බ්‍රිතාන්‍ය ජාතිකයන්ට බලපෑම්’

ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට එරෙහි පැමිණිල්ල සමතයකට පත් කර ගන්නා මෙන් බලපෑම් සහිත දුරකථන පණිවුඩ පැමිණිලිකාර බ්‍රිතාන්‍ය ජාතිකයින් වෙත ලැබී තිබෙන බව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ විය.

මාලක සිල්වාට එරෙහි නඩුව අද කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර බ්‍රිතාන්‍ය ජාතිකයින් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් මේ බව අධිකරණයට දැනුම් දී සිටියහ.

ඔවුන් කියා සිටියේ අදාළ පැමිණිල්ල සමතයකට පත් කර ගන්නා මෙන් දුරකථන පණිවුඩ සහ එස්.එම්.එස්. පණිවිඩ බ්‍රිතාන්‍ය ජාතිකයින් වෙත ලැබී ඇති බවයි.

එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කළ විත්තියේ නීතිවේදී හේමන්ත වර්ණකුලසුරිය මාලක සිල්වාට පහර දීම සම්බන්ධයෙන් පොලිසිය සැකකාර බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනා අත් අඩංගුවට නොගන්නේ ඇයිදැයි අධිකරණය හමුවේ ප්‍රශ්න කළේය.

‘මෙතැනදී අසාධාරණයක් සිදු වී තිබෙන්නේ මාලක සිල්වාටයි, පහර දීපු සුදු ජාතිකයින් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටින්නේ ඇයි ? ඔවුන් මාලක සිල්වාට පහර දීම පිළිබඳව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.’ යනුවෙන් නීතිවේදී හේමන්ත වර්ණකුලසුරිය අධිකරණයේදී ප්‍රශ්න කළේය.

විත්තියේ නීතිවේදීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ පහර දීම සිදු වන අවස්ථාවේ සැකකාර මාලක සිල්වා අපරාධය සිදුවූ ස්ථානයේ සිටි බව පිළිගන්නා නිසා ඔහු වෙනුවෙන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්වීම අවශ්‍ය නොවන බවයි.

එමෙන්ම සැකකරු දැනට රෝහල්ගතව සිටින නිසා ඔහු ඇප මත මුදා හැරිම තුලින් සාක්කිකරුවන්ට බලපෑමක් එල්ල නොවන බැවින් සැකකරු ඇප මත මුදා හරින මෙන් විත්තියේ නීතිවේදීන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එහෙත් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කලේ ඇප ඉල්ලීම ලබන 18 වනදා සලකා බලන අතර එතෙක් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන බවයි. නඩු විභාගය අවසන් වීමෙන් පසුව ඇමති මර්වින් සිල්වා කියා සිටියේ මෙම අවස්ථාවේදී තමා මාධ්‍යවලට කිසිවක් ප්‍රකාශ නොකරන බවයි.