තාප්පයෙන් පැනීම සහ නායකත්වය

Image copyright iusfsl.org
Image caption හමුදාව විසින් ලබා දෙනු ලබන නායකත්ව පුහුණුව නිසා තවත් සිසුවියකට අනතුරක්

අඩි හතක් උසැති තාප්පයකින් පැනීමෙන් හැදෙන නායකත්වය කුමක්දැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නායකත්ව පුහුණුව පිළිබඳව ප්‍රශ්න කරයි.

ඔවුන් මෙසේ ප්‍රශ්න කර සිටින්නේ සරසවි සිසුන්ට හමුදාව විසින් ලබා දෙනු ලබන නායකත්ව පුහුණුව නිසා තවත් සිසුවියක අනතුරකට ලක්ව ඇති බව වාර්තා වීමෙන් අනතුරුවයි.

අඩි හතක තාප්පයක්

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කලැත්තෑව හමුදා කඳවුරේ පුහුණුව ලබමින් සිටිදී කෞෂ්‍යල්‍යා විජිතලාල් ශිෂ්‍යාව අඩි හතක් උස තාප්පයකින් පැනීමට ගොස් වැටීම නිසා කොන්දේ ආබාධයකට ලක්ව ඇති බවයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික බීබීසීයට කියා සිටියේ. -හඬ පටයට සවන් දෙන්න.

‘මීට පෙරත් විශ්ව විද්‍යාල සිසුන් අනතුරුවලට ලක් වුනේ මේ වගේ ශාරීරික ක්‍රියාකාරකම් නිසා. ශිෂ්‍යාවක් අඩි හතක් උස තාප්පයකින් පන්නවල හදන නායකත්වය මොකක්ද කියන එන තමයි අපට තියෙන ප්‍රශ්නය.’ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික පැවසීය.

නැහැ. අඩි හයයි

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මේ පිළිබඳව බීබීසියේ තිසර රතුවිතාන කළ විමසීමකදී හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර කියා සිටියේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මෙම සිදුවීම අතිශයෝක්තියට ලක් කරන බවයි. -හඬ පටයට සවන් දෙන්න.

‘අඩි හතක තාප්පයක් පනින්නට කිසිම අවස්ථාවක බල කිරීමක් සිදු කෙරෙන්නේ නැහැ. අඩි හයක තාප්පයක් පැනීමේ ඉසව්වක් නායකත්ව පුහුණුවට අඩංගුයි. එය අනිවාර්ය අංගයක් නොවෙයි. මේ සිසුවියත් සිය කැමැත්තෙන්ම තමයි මෙම තාප්පය පැනීමට ඉදිරිපත් වී තිබෙන්නේ.’ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර පැවසීය.