ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රතන හිමියන්ගෙන් ආණ්ඩුවට අවසන් නිවේදනයක්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලය ලබාදෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොකරන්නේ නම් ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ තීරණයේ වෙනසක් නොමැති බව ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමියෝ පවසති.

එහිමියන් ඒ අදහස් පළ කළේ, ‘ඒකාධිපති බලතල අහෝසි කරන දූෂණයට වැට බඳින ජන රැල්ල’ මැයෙන් විපක්ෂයේ ඒකාබද්ධ පක්ෂ සහ අතුරලියේ රතන හිමියන්ගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙටක් සංවිධානයේ මෙහෙයවීමෙන් කොළඹදී පැවැත්වුණු ජනරැළිය අමතමින්.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු නායකයන් පිරිසක්ද ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන්ද රැළියට එක්වී සිටියහ.

රැලිය ඇමතූ ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමියෝ, ජනමතය නොසලකා ආණ්ඩුව 19 වන සංශෝධනය සම්මත නොකරන්නේ නම් විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකුට සහාය දීමට සිදු වනු ඇති බව අවධාරණය කළහ.

ජනාධිපතිවරණය පවත්වන බවට නිවේදනය කළ විට ආණ්ඩු පක්ෂයේ සිට මන්ත්‍රීවරුන් විපක්ෂයට පැමිණෙන බවද රතන හිමියෝ පැවසූහ.

ආණ්ඩුවට එක්වීමට සැරසෙන බවට පසුගියදා මාධ්‍ය වාර්තා කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මංගල සමරවීර සහ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත්කිරීමට විරෝධය පළ කරන බව පැවසෙන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසත් රැළියට එක්ව සිටීම විශේෂත්වයක්.

මෙම රැලිය අමතමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවසුවේ විධායක ජනාධිපතිකම අහෝසි කොට පාර්ලිමේන්තුවට වගකියන ආණ්ඩුක්‍රමයක් බිහිකිරීම සදහා සියල්ලන්ම එක්විය යුතු බවයි.