ජාතික හෙළ උරුමයේ තීන්දුව තවත් කල් යයි

Image copyright Udaya Gammanpila

තමන් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරිපත් කරන ලද කරුණු තිස් පහකින් සමන්විත හත් වැදෑරුම් යෝජනා වලට එම පක්ෂයෙන් දීර්ඝ පිළිතුරක් ලැබී ඇතැයි ජාතික හෙළ උරුමය පවසයි.

ජාතික හෙළ උරුමය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් අතර අවසාන සහ තීරණාත්මක සාකච්ඡාවක් අද සිකුරාදා (14) සවස පැවැත්වෙන බවට මාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක් දී තිබුනත්, එවැනි සාකච්ඡාවක් සිදු නොවූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් තමන්ට දීර්ඝ පිළිතුරු ලිපියක් ඒවා ඇති බවයි, බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්ම්න්පිල බීබීසියට ප්‍රකාශ කළේ.

එම ලිපියේ අඩංගු කරුණු පිළිබඳව ජාතික හෙළ උරුමයේ නායකයන් අතර සාකච්ඡාවක් හෙට ,සෙනසුරාදා පවත්වා අනතුරුව සඳුදා එය සිය මධ්‍යම කාරක සභාවට යොමු කරන බවත් මධ්‍යම කාරක සභාව විසින් ගනු ලබන තීන්දුව අඟහරුවාදා මහ ජනතාවට දැනුම් දෙන බවත් උදය ගම්ම්න්පිල ඇමතිවරයා පවසයි.

තීන්දුව අඟහරුවාදා

‘කුමන තීන්දුව ගනු ලැබුනත් ජාතික හෙළ උරුමයේ තීන්දුව ජාතියට හෙළිදරව් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා’ ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා ඇමති උදය ගම්ම්න්පිල බීබීසියට කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන් වෙත භාර දුන් ලිපිය පෞද්ගලික මට්ටමින් සිය පක්ෂයට ලැබුණ ලිපියක් යයි කියා සිටි ජාතික හෙළ උරුමය නියෝජිතයා එහි අඩංගු කරුණු අඟහරුවාදාට පෙර හෙළිදරව් නොකළ යුතුය යන මතයේ තම පක්ෂ නායකත්වය සිටින බවයි,බීබීසිය විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලද ප්‍රතිචාරය සාධනීය එකක් දැයි විමසූ විට ඔහු කියා සිටියේ ‘එය සාධනීය හෝ සාධනීය නොවන එකක්ද යන්න තීන්දු කිරීමේ බලය පවතින්නේ තමන්ට නොව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට’ වන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර