ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පාදඩ, රස්තියාදුකාර ආර්ථිකයක් -නන්දන

වත්මන් ආණ්ඩුව රට කරවන ආකාරය පිළිබඳව කලකිරීමට පත් වීම නිසා තමා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමට තීරණය කළ බව පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය.

නගරාධිපති ධුරයෙන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වයෙන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් ද ඉවත් වන බව ඔහු ප්‍රකාශ කළේය.

මේ බව ජනාධිපතිවරයාට දැනුම් දී අවසාන බව පවසන නන්දන ගුණතිලක ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු වී ඇති බව පවසයි.

වරෙක ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ද වූ නන්දන ගුණතිලක පානදුර නගරාධිපතිවරයා බවට පත් වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින්.

නව ධනපතියෝ

සන්ධානය අතහැර යාම ගැන හේතු පැහැදිලි කිරීම සඳහා කැඳවූ මාධ්‍ය හමුවේදී රටේ පවතින වත්මන් ආර්ථිකය නන්දන ගුණතිලක විග්‍රහ කළේ මේ ආකාරයටයි.

‘පාදඩ, රස්තියාදුකාර ආර්ථිකයක් මේ හදල තියෙන්නේ... කුඩු කාරයෝ ධනපති වෙලා, ජාවාරම් කාරයෝ ධනපති වෙලා, කැසිනෝ කාරයෝ ධනපති වෙලා, කොමිස් කාරයෝ ධනපති වෙලා. හිතල බලන්න විශේෂයෙන්ම 2010 න් පස්සේ නිර්මාණය වෙච්ච ධනපතියෝ කොහොම දියුණු වෙච්ච මිනිස්සුද කියලා.’

තමාට නායකයෙකු වීමේ අපේක්ෂාවක් නොමැති බවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා තම දායකත්වය ලබා දෙන බවත් නන්දන ගුණතිලක ප්‍රකාශ කළේය.