'හැට පැන්නත් පරිපාලනයේ'

Image caption ජෝශප් ස්ටාලින්

නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගනු ලබන ක්‍රියා මාර්ග නිසා පළාතේ අධ්‍යාපනයට තර්ජනයක් එල්ල වී ඇති බව ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.

ලංකා ගුරු සංගමය එම තත්වය පෙන්වා දුන්නේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ විදුහල්පති ශ්‍රේණි ලබා දීමේ දී ගුරුවරුන් මුහුණ දෙන ගැටළු සාකච්ඡා කෙරන හමුවක දී.

බීබීසිය වෙනුවෙන් වසන්ත චන්ද්‍රපාල එම සාකච්ඡාව වාර්තා කරන්නේ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පළ කළ අදහස් සමඟයි.

“මේ වෙන කොට නැගෙනහිර පළාතේ අධ්‍යාපන පරිපාලන සේවයේ අවුරුදු හැටට වැඩි නිලධාරීන් සේවයේ තබා ගැනීම නිසා බරපතළ තත්වයක් උද්ගත වෙලා තියනවා. මේක පද්ධතියේ ඉන්න නිලධාරීන්ට කරන බලවත් අසාධාරණයක්. ‘මහඔය’ කලාප කාර්යාලයේ අතිරේක අධ්‍යක්ෂකට අවුරුදු හැට ඉවරයි. මඩකලපුව කලාප කාර්යාලයේ අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂකට සේවා දිගුවක් දීල. පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේත් කෙනෙක් ඉන්නවා. මේ විදියට හැටට වැඩි තෝරා ගත් නිලධාරීන් තියා ගැනීම බරපතළ අසාධාරණයක්” යනුවෙන් ජෝශප් ස්ටාලින් පවසයි.

විනිවිධ බවක් නැහැ

පුරප්පාඩු ඇතිවූ විට චක්‍ර ලේඛණ අනුව විනිවිදභාවයකින් කටයුතු කළ යුතුව ඇතත් එසේ නොකරන්නේ නම් එම පත්වීම් නීත්‍යනුකූල නොවන බවයි ඔහු පවසන්නේ.

එසේම ප්‍රදේශයේ පාසල් වලට විදුහල්පතිවරුන් පත් කිරීම හා කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් පත් කිරීමේ දී සිදු වී ඇති අක්‍රමිකතා පිළිබඳව ද ඔහු පැහැදිලි කිරීමක් කළේය.

Image caption ගුරු විරෝධතා ව්‍යාපාරයක්

නැගෙන හිර පළාත තුළ ඉදිරියේ දී මෙවැනි අකටයුතුකම් සිදුවුවහොත් ඒ පිළිබඳව නීති මගින් කටයුතු කරන බවයි ජෝශප් ස්ටාලින් කියා සිටින්නේ

මීට අමතරව රජය ඉදිරිපත් කළ සේවා ව්‍යවස්ථාව තුළ අසාධාරණ කොන්දේසි ඇති බව පවසන ඔහු එය නිවැරදි කර ගැනීමට සියලු දෙනා එක් වී කටයුතු කළ යුතු බවත් සඳහන් කළේය.

‘මුට්ටි කාසි’

විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ ඇති සේවා ගැටළු විසඳන්නේ නැත්නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් ඔහු කියා සිටියි.

මේ පිළිබඳව නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය විමලවීර දිසානායක ගෙන් සංදේශය විමසූ විට කියා සිටියේ, නැගෙනහිර පළාත් සභාව තුළ පරිපාලන සේවා නිලධාරීන්ගේ හිඟයක් පවතින බවයි.

එම හිඟය පියවා ගැනීම සඳහා හැටට වැඩි නිලධාරීන් තබා ගන්නා බවයි ඔහු පවසන්නේ.

එම හේතුවෙන් අධ්‍යාපනය කඩා වැටෙන බවට චෝදනා කරන්නේ වෘත්තීය සමිති නිලධාරීන් විසින් බවත් ඔවුන් එසේ කියන්නේ “මුට්ටි කාසි” එකතු කර ගැනීමට බවත් ඇමතිවරයා පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර