ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉවත්වීම ජනපතිට දෙන උපන්දින තෑග්ගක් - හෙළ උරුමය

ආණ්ඩුවේ දැරූ සියළු තනතුරුවලින් ඉවත්වීමට ජාතික හෙළ උරුමය ගත් තීරණය අඟහරුවාදා සිය 69 වන උපන්දිනය සමරන ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදෙන උපන්දින ත්‍යාගයක් බව ජාතික හෙළ උරුමය පවසයි.

ජනාධිපතිවරයාගේ කල්‍යාණ මිත්‍රයෙකු ලෙස ඔහුගේ වැරදි පෙන්වාදීම තම පක්ෂයේ වගකීම බවද පක්ෂයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කළහ.

ජාතික හෙළ උරුමය ආණ්ඩුවේ දැරූ ප්‍රධානතම තනතුරු වන තාක්‍ෂණ හා පර්යේෂණ ඇමති ධුරයෙන් පාඨලී චම්පික රණවක සහ බස්නාහිර පළාත් අමාත්‍ය ධුරයෙන් උදය ගම්මන්පිලත් ඉල්ලා අස්වන බව කොළඹ පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකදී ජාතික හෙළ උරුමය සඳහන් කළේය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු සිය පක්ෂය ඉදිරිපත් කළ මූලික යෝජනාවලට රජයෙන් ලැබී ඇති ප්‍රතිචාරය පිළිබඳ කිසිලෙසකින් සැහීමකට පත්විය නොහැකි බැවින් එම තීරණයට එළැඹුණු බවයි, පක්ෂයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක කියා සිටියේ.

ආණ්ඩුවේ දැරූ තනතුරු වලින් ඉවත්වුවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බවද මාධ්‍ය හමුවේදී බීබීසී සංදේශය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍ය චම්පික රණවක ප්‍රකාශ කළේය.

'එන්ජීඕ කාරයෝ'

"අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු. නමුත් ඔවුන් විසින් ගන්න තීරණවලට අපි මින් ඉදිරියට විධායක මට්ටමෙන් වගකීමට බැඳෙන්නේ නැහැ," යනුවෙන්ද ඔහු පැවසුවේය.

ශ්‍රී ලංකාව වර්තමානයේ මෙහෙයවනු ලබන්නේ සුළු කල්ලියක් විසින් බවද චම්පික රණවක හිටපු අමාත්‍යවරයා චෝදනා කළේය.

විධායක ජනාධිපතිධුරය අහෝසිකිරිම රාජ්‍ය නොවන සංවිධාන හා බටහිර බලවේගවල අවශ්‍යතාවයක් ලෙසින් ආණ්ඩුවට පක්ෂපාතී කණ්ඩායම් එල්ල කරන චෝදනාවට මාධ්‍ය හමුවේදී පිළිතුරු දුන් හිටපු පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිළ: "2005 මහින්ද චින්තනයේ 83 වෙනි පිටුවෙත් කියනවා විධායක ජනාධිපතිධුරය අහෝසිකිරීම පිළිබඳව. 2005 මුද්‍රණ දෝෂයක් කියමු හැබැයි 2010 මහින්ද චින්තනයේ 53න් වෙනි පිටුවෙත් මේක තියෙනවා," යනුවෙන් කියා සිටියේය.

"මේක ලිඛිතව පොරොන්දු වුනේ අපේ ජනාධිපතිතුමා. එහෙනම් මේ එන්ජීඕ කාරයා, බටහිර කුමන්ත්‍රණ කාරයා කියලා කට්ටිය මේ චෝදනා නගන්නේ කාටද? අපේ ජනාධිපතිතුමාට."

ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිසේත්ම ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය නොදෙන බවයි, අතුරලියේ රතන හිමියන් අවධාරණය කළේ.

රජයේ අනුග්‍රහය යටතේ රාජගිරිය ප්‍රදේශයේ බෞද්ධ මධ්‍යස්ථානයක් ඉදිකිරීම පිළිබඳව ආණ්ඩුවෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ රතන හිමියෝ, තමන් වහන්සේ සිරගත කිරීමේ සැලසුමක්ද තිබෙන බව සඳහන් කළහ.

"ෆයිල් පෙන්නලා බයකරනවා කියනවනේ. අපි ඒවට බය නැහැ. ඒකනේ අමාත්‍ය ධුරවලින් අයින් වුනේ," යනුවෙන්ද චම්පික රණවක හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ ආණ්ඩුව විවේචනය කිරීමත් සමඟම ගල් අඟුරු වංචාවක් පිළිබඳව ඔහුට එල්ලවුණු චෝදනාවට පිළිතුරු දෙමින්.