ඉන්දීය ධීවරයන් නිදහස්

Image copyright hcicolombo.org
Image caption ධීවරයන් පිරිසට පූර්ණ සමාවක් ප්‍රදානය කළේද නොඑසේනම් ඔවුන්ගේ දඬුවම අඩු කොට තිබෙන්නේද යන්න පැහැදිලි නැහැ

මත්ද්‍රව්‍ය ප්‍රවාහන චෝදනා යටතේ මරණ දඬුවමට ලක් කරනු ලැබ සිටි ඉන්දීය ධීවරයන් පස් දෙනා ජනාධිපති සමාවක් යටතේ නිදහස් කොට ඇති බව ඉන්දීය තානාපති නිලධාරීහු පවසති.

ධීවරයන් පිරිස නිදහස් කරන ලද බව බීබීසී සංදේශය කළ විමසීමකදී සනාථ කළ කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරිනියක්, ඔවුන් ඉක්මනින්ම යළිත් ඉන්දියාවට පිටත් කිරීම පිණිස කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව සඳහන් කළාය.

නිදහස් කරන ලද ධීවරයන් පිරිස ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ට භාර දුන් බව බන්ධනාගාර නිලධාරීහු සංදේශය කළ විමසීමකදී සනාථ කළහ.

මරණ දඬුවමට එරෙහිව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් ඉදිරිපත් කොට තිබුණු අභියාචනය අඟහරුවාදා ඉවත් කරගත් බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී අනිල් සිල්වා සංදේශයට පැවසීය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සතියේ දුරකථන සාකච්ඡාවක නිරත වූ අතර, මරණ දඬුවමට මුහුණ දී සිටින ධීවරයන් පිරිස සම්බන්ධයෙන්ද නායකයන් දෙදෙනා සාකච්ඡා කළ බව ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක සංදේශයට පැවසීය.

සිරකරුවන් හුවමාරු කරගැනීම සම්බන්ධ ඉන්දු-ලංකා ගිවිසුම ප්‍රකාර ඔවුන් යළි ඉන්දියාවට පිටත් කෙරෙනු ඇති බවයි සැලකෙන්නේ. එහෙත් ඔවුන්ට පූර්ණ සමාවක් ලබා දී තිබෙන්නේද නොඑසේනම් ඔවුන්ට ඉන්දියාවේදී සිරදඬුවම ගෙවීමට සිදුවනු ඇතිද යන්න තවමත් පැහැදිලි නැත.