රනිල්ට ගෙදරත් මෛත්‍රී, පිටත් මෛත්‍රී -මහින්ද

Image copyright AFP

ශ්‍රී ලංකාවට නිදහස් ලැබුණ දා පටන් නොයෙක් බලවේග රටට එරෙහිව හොල්මං කරමින් තිබුණ අතර එවැනි කටයුතුවල නිරත වූවන් අද රට ගැන කිඹුල් කඳුළු සලන්නට පටන් ගෙන ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් සෞඛ්‍යය ඇමති මෛත්‍රිපාල සිරිසේන විපක්ෂයට එක් වීමෙන් අනතුරුවයි ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ.

අද කොළඹ දී තවදුරටත් අදහස් පළ කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, සිය පක්ෂයේ මහ ලේකම්වරයා විපක්ෂයට යාම සම්බන්ධයෙන් කියා සිටියේ තමාට කිව හැක්කේ ‘අනේ පව්!’ කියා බවයි.

‘ගිය වතාවේ ෆොන්සේකා මහත්මයා හසු වුනා. මේ වතාවේ මෛත්‍රී හසු වුනා. රනිල්ට දැන් ගෙදරත් මෛත්‍රී. පිටත් මෛත්‍රී’ ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, දේශීය ආර්ථිකයක් ගොඩ නංවමින් දේශීය සංස්කෘතිය පණ ගැන්වීමට දිවංගත බණ්ඩාරනායක අගමැතිවරයා විසින් ආරම්භ කළ ක්‍රියාමාර්ගය ආපසු හැරවීමට ඉතිහාසයේ විවිධ බලවේග ක්‍රියාත්මක වූ බවයි.

කිඹුල් කඳුළු

1977 න් අනතුරුව එම ගමන් මාර්ගය ආපසු හැරවීමට ක්‍රියාත්මක වූ දේශපාලන නායකයන් අද ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට උත්සාහ දරන බවයි, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පවසන්නේ.

තමා 2005 වසරේ බලයට පැමිණ 2009 වසරේ දී රට එක්සත් කරමින් යුද්ධය ජය ගත් බව කියා සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ එය බෙදුම්වාදයට මිස දෙමළ ජනතාවට එරෙහිව සිදු කළ යුද්ධයක් නොවන බවයි කියා සිටියේ.

ඉන් අනතුරුව රට සංවර්ධන මාවතට ගෙන ආ බව සඳහන් කළ ජනාධිපතිවරයා වත්මන් තරුණ සහ මතු බිහිවන පරපුරට අනාගතයක් ගොඩ නැගීමට කැප වී සිටින බවත් ප්‍රකාශ කළේය.

තමා ජාත්‍යන්තර අධිකරණ ඉදිරියට ගෙන යාමට උත්සාහ කළ පුද්ගලයන් අද රට ගැන කිඹුල් කඳුළු සලන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමාට නොහැකි වුණේ අවශ්‍ය සහයෝගය නොලැබීම නිසා බවත් කියා සිටියේය.

එම සහයෝගය නොදී භයානක ලෝකයක් මැවීමට උත්සාහ කරන බවට ඔහු විපක්ෂයට චෝදනා කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර